Monday, February 5

බෞද්ධ ආගමික චාරිත්‍ර සහ වත්පිළිවෙත් පිලිබඳ නැවත කියැවීම් අවශ්‍යය!

ශ්‍රී ලංකාවේ පවත්නා බෞද්ධ ආරාමික ආයතන ද ඇතුලත් පොදු බෞද්ධ සමාජයම විශාල විපරිවර්තනයකට යායුතු කාලය උදා වී ඇත. ඒ අප අතර පවත්නා බොහෝ චාරිත්‍රවල මුල් අදහස් ගිලිහි ගොස් ඇති බැවිණි.
අප විසින් විකල්ප කියැවීමක් හඳුන්වා දිය යුතු එක් වැදගත් මාතෘකාවක් ලෙස ‘සාංඝික දානය’ දකිමු. ඒ ඉතා උසස් සංකල්පයක් අද වන විට එම මුල් අර්ථයෙන් මහත් සේ බැහැරව ගොස් සමාජයට අහිතකර දෙයක් දක්වා වර්ධනය වී ඇති බැවිනි. 

‘දානය’ යනු තමන් සඳහා ලාභ ප්‍රයෝජන හෝ වෙනත් කිසිවක් අත්කර ගැනීමේ හෝ එකතුකර ගැනීමේ  අපේක්ෂාවකින් තොරව  කරන අත් හැරීමයි. තණ්හාව’ මිනිස් ගැටළුවලට සහ දුකට හේතුවන ‘මූලහේතුවක්’ වන අතර මෙකී ‘මූල හේතුව’ නැසීම සඳහා බුදුන්වහන්සේ විසින් හඳුන්වා දුන් ‘අභ්‍යාසය’ නම් ‘දානයයි’. මේ අභ්‍යාසය මගින් පුහුණු කෙරෙනුයේ තණ්හාව අඩුකර ගැනීම වන අතර ඒ ඔස්සේ සතුටින් ජීවත් වීමට මනුෂ්‍යයාට මහත් උපකාරයක් සැළසෙයි. ඊට අමතරව බෙදා හදා ගැනීම  පිබඳව මෙයින් ඉගැන්වෙන පාඩම ද ඉතාම අගනේය.

පුද්ගල සැනසීමට එතරම් වැදගත්වන ‘දානය’ නම් ක්‍රියාකාරකම තවදුරටත් ‘පොදු සමාජයට’ අර්ථයක් ඇතිවන ලෙසට කෙරෙන අත්හැරීමක් බවට පත්කෙරෙන්නේ ‘සාංඝික’ දානය තුළිනි. එනම් පුද්ගලයෙකු, දෙන්නෙකු වෙත ලබාදෙන දානයක්  ලෙස නොව පොදු සමාජයේ හෙවත් සමූහයේ ප්‍රයෝජනයට, සුබසිද්ධියට හා යහපැවැත්මට හේතුවන ආකාරයට පොදු දේපලක් බවට පත් කරමින් කරන අත්හැරීම ‘සාංඝික දානයයි’. එවක ද, අද ද  පොදු ජනයාගෙන් ලැබෙන අහරින් යැපෙමින් පොදු ජිවිතයක් ගතකරන පිරිසගේ පැවැත්ම සඳහා උපකාරවන ලෙස කරන ප්‍රදානය ‘සාංඝික’ දානය ලෙස හැඳින්වෙන පමණින් භික්ෂූන් සඳහා උසස්ලෙස සකසන ලද අහර ද, අටපිරිකර සහ සෙසු පිරිකර ද සහිතව දෙන දානය පමණක් ම සංඝික දානය වන්නේ යයි නිගමනය නොකළ යුතුය. ඒ වෙනුවට සාංඝික දානය යන්නෙහි පුළුල් අර්ථ හඳුණා ගනිමින් එය අදට අදාළ වන ආකාරය ගොඩනංවා ගැනීමට අප සමත් විය යුතුය.

අද සාංඝික දානයක් දෙන පුද්ගලයෙකු ඒ  සඳහා කොතරම් නම් වෙහෙසක් ගතයුතු ද? සංඝික දානයක් නම් භික්ෂූන් වහන්සේලා දසනමක් වත් ඒ වෙනුවෙන් වැඩමවා ගත යුතුය. මාස කිහිපයක සිට ඒ සඳහා සූදානම් වීම ඇරඹිය යුතුය. එළවලු මාලුපිනි බොහෝ ප්‍රමාණයක් සුදානම් කළයුතු අතර කිරි, පැණි, වටලප්පන්, කැවිලි වර්ග හා පලතුරු වර්ග ගණනාවක් ද සුදානම් කළ යුතුය. එසේම පිරිකර වර්ග සහ අටපිරිකර කිහිපයක් ද සුදානම් කර ගත යුතුය. තව ද ආසන සඳහා කොට්ට මෙට්ට, ඇතිරිලි ද, පිගන් කෝප්පද දීසි, පඩික්කම් ආදිය ද වෙනම සුදානම් කළ යුතුය. දානය පැවැත්වෙන දිනට පෙරදින රාත්‍රියේ සිටම නිවසේ කාන්තාවන් ඥාති කාන්තාවන් ද සමග එකතු වී දානය සුදානම් කළ යුතුය. දානය පිළිගන්වන අවස්ථාව ද ඇතැම් විට මහත් කලබල සහිත මොහොතකි. නිදහස්ව සාමකාමී පරිසරයක සිට සතුටින් කරන ක්‍රියාවකට වඩා අනුපිලිවෙල වරදීදෝ’යි මහත් බයෙන් යුතුව කරන පූජා චාරිත්‍රයක් බවට දන් බෙදීම බොහෝ තැනක පත්වෙයි.
බුදුදහම අනුබල දෙන්නේ නිවුණු සිතින් කලබල නැතිව තමාගේ හැකියාවේ ප්‍රමාණයට කරන යහපත් ක්‍රියාවලටය. සාංඝික දානයක් දෙනවිට එබඳු ශාන්ත කමක් පවත්වා ගැනීම කොතරම් අපහසු දැයි ඔබම හිතන්න.

වර්තමානයේ පවත්වන සාංඝික දානයේ අනෙක් හානිකර පක්ෂය වන්නේ දැරිය යුතු විශාල වියදමයි. දුප්පත් මනුෂ්‍යයෙකුට ඉහත ආකාරයේ දානයක් දීම කොතරම් වෙහෙසකර දැයි ඔබම සිතා බලන්න. එහෙත් මළ ගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීමට නම් සාංඝිකව දානයක් දීම අත්‍යාවශ්‍ය සේ සමාජයේ පිළිගැනීමක් ඇති බැවින් සමාජ අපවාදවලින් බේරීමට හෝ එකවරක් වත් සාංඝික කර දානයක් පිරිනැමීමට ඕනෑම දුප්පතෙකු පෙළඹේ. මේ තත්ත්වය නිසා දුප්පතුන් කොතරම් නම් පීඩනයකට පත් වෙනවා ඇත් ද?
දානය පිළිගන්නා භික්ෂූන් වහන්සේට ද අද පවත්නා සාංඝික දානයෙන් සිදුවන්නේ අනර්ථයකි. කය වෙහෙසා වැඩ නොකරන භික්ෂූන් වහන්සේලා නිතර අධික පෝෂ්‍ය ජනක සහ මේදය බහුල ආහාර ගැනීමෙන් බරපතල සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටිති.

මේ තත්වය යටතේ අප කළ යුතුව ඇත්තේ පොදු සමූහයේ දියුණුවට හා ප්‍රගතියට මුල්තැන දෙමින්, තමතම හැකියාවට සරිලන පරිදී සහ කිසිවෙකුට හානිකර නොවන පරිදි ‘සාංඝික දානය’ නැවත සකස් කර ගැනීමයි.  එහි දී ‘පොදු සමාජයේ’ එනම් සංඝයේ (භික්ෂු සංඝ ද ඇතුලත්) යහපතට හේතුවන ආකාරයේ වැඩපිළිවෙලක් සාර්ථක කිරීම සඳහා ශ්‍රමය දීම, දැනුම දීම, හෝ වෙනත් ඕනෑම ආකාරයකට කරන ප්‍රඥා ගෝචර ප්‍රදානය  සංඝික දානය ලෙසට හැඳින්විය හැකිය.   ඒ පරිවර්තනය සිදුකරගැනීමට අප එඩිතර විය යුතුය.

(මෙම ලිපිය 2018 ජනවාරි 2 වෙනි සිකුරාදා රැස පුවත් පතේ පළ විය)