Thursday, August 2

පරණ ලියුමක්...


පරණ ලිපි ගොණුවක් අතර තිබී 2013 දී මවිසින් ලියන ලද ලියුමක් හමු වුණා.

මෙහි නිදාන කතාව මෙහෙමයි.
අප ආයතනය මගින් රජයේ ආයතනයකට ගෙවිය යුතු වූ මාසික බිලක් නියම දිනට නොගෙවීම නිසා රතු බිල ඇවිත් තිබුණා. මම අදාළ බිල ගෙවීම සඳහා අදාළ රජයේ  කාර්යාලය වෙත ගියා. මම යනවිට ආයතන භූමියේ විශාල පිරිසක් ‍රැස්ව සිටි අතර කිසියම් උත්සවයක් ආරම්භවෙන්නට යන බව පෙණුනා. ඒ පිරිස අතරින් ගොස් බිල් ගෙවන ස්ථානය වෙත යන්න හදන විට පිරිසේ ඉදිරියෙන්ම සිටි කාන්තා නිළධාරිණියක් මා දැක මහත් සතුටට පත් ව මා වෙත දිවා ආවා. 

"හාමුදුරුවො හොඳ වෙලාවට වැඩියේ.. උත්සවේ වැඩ පටන්ගන්න හැදුවා විතරයි.. අපිට කල් ඇතිව හාමුදුරු නමකට ආරාධනා කරගන්න බැරි වුණා.. දැන් ඉතින් ඒ අඩුවත් සම්පූර්ණ උණා". 
ගෙවන්නට තිබූ බිල ද මුදල් ද අතැතිව සිටිමින් මම මෙහෙම කිව්වා.

"මම මේ රතු බිල ගෙවල එන්න යන ගමන්'

"අයියො ඒක මොකක් ද.. ඔහොම ඉන්න" කියූ ඇය වෙනත් මහතෙකු කැඳවා මා අත වූ බිල ද මුදල් ද ගෙන ඔහු අත තබා 'වහාම මේ හාමුදුරවන්ගෙ බිල ගෙවල එන්න කියා පිටත් කළා.

එසේ කියූ ඇය 'මෙහෙන් වඩින්න' කියා ඉස්සර වුණා.

ඇය අනුව යන ගමන් මම ඇගෙන් මෙහෙම ඇහුවා. "මොකක් ද මෙතන වෙන්නෙ?"
"ආ.. අද අපේ ආයතනයේ 50 වෙනි සංවත්සරය. රට පුරාම අපේ කාර්යාලවල සමරු උත්සව පැවැත්වෙනවා".  මෙසේ කියන විටත් අපි වේදිකාවට සමීප වී හමාරයි. 
"මම මෙතන මොකක් ද කරන්න ඕන?"
" ඔබ වහන්සේ පන්සිල් දීලා අනුශාසනාවක් කරල වඩින්න" කියූ ඇය දැන් උත්සව සභාව ආරම්භවන බවත් පළමුවෙන්ම පන්සිල් සමාදන්වීම සඳහා සියළු දෙනාම නමස්කාරය කියන ලෙසත් සභාවෙන් ඉල්ලා සිටියා.

මම පන්සිල් සමාදන් කරවා මේ ආයතනයේ වර්ධනයට හවුල් වූ සැවොම මේ මොහොතේ ගෞරවයෙන් සිහිකරන ලෙසත් මතක් කොට සභාවෙන් නික්මුණා. ඒවනවිටත් මගේ බිල ගෙවා රිසිට් පත ‍රැගෙනවිත් තිබුණු නිසා එය ද ‍රැගෙන මම අදාළ ස්ථානයෙන් පිට වී ආවා. 

නැවත ආයතනයට පැමිණි පසු මවිසින් අදාළ නිළධාරී තුමිය වෙත යවන ලද ලියුමයි  මම ඔබ සමග බෙදා ගන්නේ.

ප්‍රධාන නිළධාරී තුමිය වෙත,
අද දින ඔබ ආයතනයේ පැවති සංවත්සර උත්සව අවස්ථාවේ අහඹුලෙස පන්සිල් සමාදන් කරවීමේ අවස්ථාව ලද හාමුදුරුවෝයි මේ ලිපිය ලියන්නේ. පැය 24ම සාමාන්‍ය මිනිසුන්ගේ ආගමික අවශ්‍යතා වෙනුවෙන් කැපවී කටයුතු කරන මා හට ඔබ සැම පඤ්ච සීලයේ පිහි‍ටුවීමට ලද ආරාධනය වැදගත් දෙයක් ලෙස සලකනවා. 
එසේ වුවත් ජාතික මට්ටමේ රාජ්‍ය ආයතනයක පැවැත්වෙන සංවත්සර අවස්ථාවක දී එක් ආගමකට අයිති ආගමික වතාවතක් පමණක් පැවැත්වීම එතරම් සුදුසු නොවන බව මාගේ හැඟීමයි. මාගේ අදහස, එසේ කිරීමෙන් ඔබ ආයතනයේ උන්නතිය සඳහා ඔබ සැම මෙන්ම සමානව වැඩකරන බෞද්ධ නොවන සේවක පිරිස් නොතකා හැරීමක්, දෙවැනි පන්තියේ ලා සැලකීමක් සිදුවන බවයි.  එහෙයින් මෙබඳු පොදු අවස්ථාවල දී විනාඩි කිහිපයක් නිහඬව සිටිමින් තම තමන් ගේ ආගම සිහිකිරීමට කටයුතු කිරීම මගින් මේ ගැටළුව වළකා ගත හැකි වේවි. එහිදී සැම දෙනාම සමානයි. කිසිවෙක් නොතකා හැරෙන්නෙ නෑ. 

අප සමග ජීවත් වන වෙනස් සංස්කෘතීන් සහිත ජන පිරිස් සම්බන්ධව සංවේදී වීමට අවශ්‍ය අධ්‍යාපනය, සාකච්ඡාව අප සමාජයේ නොමති බැවින් වැඩි දෙනෙකුට මා පෙන්වා දෙන්න හදන කරුණ එතරම් වැදගත් යැයි වැටහෙන එකක් නෑ. එහෙත්  ජාතික මට්ටමේ හා රාජ්‍ය ආයතනයන් හි කෙරෙන කටයුතු වල දී ජාතික වසයෙන් සැමට එකාවන්ව එකතු විය හැකි කටයුතු, චාරිත්‍ර ඉ‍ටුකරන්නට හැකි නම් එය ඉතාම අගෙයි.    
pen



0 comments:

Post a Comment