Tuesday, September 1

දැවුණු බිමක නෙළුම් විලක්..!

“මුහුද හරි පුදුමයි… අපිට නොයෙක් දේ ගෙනල්ල දෙනවා.
දැන් මම මේ දාගෙන ඉන්න සෙරෙප්පු දෙක තියෙනවා නේද?
එයින් එකක් ඇවිල්ල දවස් පහකට පස්සෙයි අනිත් එක ආවෙ!”

අගෝස්තු 22 පාන්දර ඉඳලා 25 රාත්‍රී වනතුරු මම නැවතී සිටියේ යාපනයේ අල්ලෙයිපිඩ්ඩි ගමේ තිබෙන 'තපෝවනම්' නම් ආශ්‍රමයේ. කලපුවට මායිම්ව පිහිටා ඇති නිසා පිහිටීමෙන්ම එය හිත නිවන සුළු තැනක්. එය පවත්වාගෙන යන්නේ යාපනය විශ්වවිද්‍යලයේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය දයා සෝමසුන්දරම්.

21 රාතී 10.30 ට වැල්ලවත්තෙන් ආරම්භවුණු රත්න ටුවර්ස් බසයෙන් යාපනයට ළඟා වෙනකොට උදේ 5.30 විතර වුණා. තපෝවනම් හි භාවිතයට කෙනෙකු විසින් පරිත්‍යාග කර ඇති ත්‍රිරෝද රථයෙන් මරියදාස් ඇවිත් හිටියා මාව එක්ක යන්න. තපෝවනම් හි සේවය කරන මරියදාස්ට සිංහල කතා කරන්න පුළුවන්. එයා මඩකලපුවේ කෙනෙක්.

ගොඩබිමින් මණ්ඩතිව් දූපත හරහා කයිට්ස් වෙත ඇතුළු වී අල්ලෙයිපිඩ්ඩි වෙත ළඟා වෙන්න විනාඩි 30ක් විතර ගත වුණා. පොල් ගස් වලින් පිරුණු කලපුවට සමාන්තරව දිවෙන ඉඩම් තීරුවක ඇති තපෝවනම් වෙත ඇතුළුවන ලී ගේට්ටුව විවෘත කළේ අපි එනතෙක් එතැන රැඳී සිටි උඩුකයට කිසිවක් හැඳ නොසිටි, දනහිස තෙක් කෙටි සරමක් හැඳ සිටි අවුරුදු 75 ක විතර වැඩිහිටි කෙනෙක්. මම මරියදාස් ගෙන් ඇහුවා ඒ කව්ද කියලා.

“ඒ තමයි සෝමසුන්දරම් මහත්තයා”.

තපෝවනම් තුළ ගොඩනැගිලි ගොඩක් නෑ. තැනින් තැන තල් කොල හෙවිලි කරපු කුඩා විවෘත පැල් කීපයක් තිබුණා. එහි ඇති කුඩා ශාලාවත් ඉදිකර තිබුණේ ඒ ආකාරයටමයි. ශාලාව තුළ හිඳගන්න පිට-ලෑලි සවි කළ බංකු තිබුණා.

එහි තිබුණු එකම කොන්ක්‍රීට් ගොඩනැගිල්ල එක කාමරයක් පමණක් ඇති තට්ටු දෙකක ගොඩනැගිල්ලක්. ඒක ඉදිකරල තියෙන්නේ මේ ඉඩම නාවික හමුදා කඳවුරක්ව පැවති කාලයේ එහි සිටි අනදෙන නිලධාරියාට වාසය කරන්න. සෝමසුන්දරම් මහත්තයා රෑට නිදන්නේ මේ ගොඩනැගිල්ලෙ ඉහලින්ම ඇති කොන්ක්‍රීට් ස්ලැබ් (Terrace)  එකේ. කොන්ක්‍රීට් ස්ලැබ් එක මත ඇලේට සවි කරපු තල් කොල හෙවිලි කරපු පොඩි වහලයකින් තිබුණා. ඒත් වැස්සක් ආවොත් ඒ වහලය මදි ආවරණය වෙලා රාත්‍රිය ගත කරන්න.

සෝමසුන්දරම් මහත්තයා බොහෝ දුරට දවසකට ආහාර ගන්නෙ එක වේලයි. උදෙන් නැගිටින ඔහු යෝග ව්‍ය‍යාම් කරනවා. දවසේ වැඩ ඉවර කරල හවස තුනට කලපුවේ පීනන්න යනවා. අඩුම තරමෙ පැය දෙකක් වත් දවසකට ඔහු කලපුවේ පිහිනනවා.

මේ වෙනකොට යාපනය මහ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වන්නේ සෝමසුන්දරම් මහත්තයගෙ ශිෂ්‍ය‍යෙකු වන එස්. සිවදාස් මහතායි. ඔහු ඇතැම් දිනවල හවසට තමන්ගෙන් මනෝවෛද්‍ය විද්‍යව හදාරන යාපනය වෛද්‍ය පීඨයේ විද්‍ය‍ර්ථින් එක්ක තපෝවනම් වෙත එනවා. ඒක ගුරු ශිෂ්‍ය පරම්පරා තුනක් එකට එකතුවන එය හරිම ලස්සන දසුනක්.

ගියපු දවසේම හවස තුනට විතර වෛද්‍ය එස්. සිවදාස් එහෙම විද්‍ය‍ර්ථින් පිරිසක් එක්ක තපෝවනම් වෙත ආවා. මම හිටියේ විවෘත පැලක බූරු ඇඳක් දාගෙන. ඒ අය කෙලින්ම මම ඉන්න තැනට ආවා. සිංහල, දෙමළ සහ මුස්ලිම් ළමයි ඔක්කොම එකට. හරිම ලස්සනයි.  ඒ අය ගොඩක් උනන්දු වුණා සතිමත් බව ගැන. ඒ සම්බන්ධ අභ්‍යස විධි ගැන.

තපෝවනම් ආයතනයේ ඇත්තටම මොනව ද කෙරෙන්නේ?

ඒක තමයි වැදගත් ම. අල්ලෙයිපිඩ්ඩි කියන්නෙ යුද්ධය ඍජුවම බලපෑ ධීවර ගම්මානයක්. අවස්ථා කිහිපයකම එහි වැසියන්ට ගම හැර යන්න වෙනවා. කලක් ඔවුන් වන්නියේ ජීවත් වෙලා නැවත ආව අය. ඒ ගමේ අද තත්වය යුද්ධයක් විසින් ජනසමාජයකට කරන දිගුකාලීන හානියට හොඳම නිදසුනක්. ඒ ගමේ පිරිමි හැම කෙනෙක්ම වගේ මත්පැන් වලට තදින්ම ඇබ්බැහිවෙලා. මත් කුඩු සහ අයිස් කියන්නෙත් ඒ පලාතෙ සුලබ දේවල්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මේ ගමේ ඉතාම ඉහලයි. ඒ නිසාම පවුල් අවුල්. පිරිමි තම පවුල් අතහැරල දාල ගියපු අවස්ථා සුලබයි. මේ නපුරු වට පිටාවෙ වඩාත් පීඩාවට පත්වන්නෙ දරුවො. ඇතැම් තැනක දරුවො රෑට ගෙදර නොඉඳ ආච්චි සීයගෙ ගෙවල් වලට යනවලු රෑට ගෙදර රණ්ඩු නිසා. ඒක කිව්වෙත් සෝමසුන්දරම් මහත්තයා.

තපෝවනම් මැදිහත්වෙන්න උත්සාහ කරන්නේ මෙහෙම වටපිටාවක හැදෙන දරුවන්ගේ මොලයේ නියුරෝන මාවත් (Neuron Pathways) සකස්වන ක්‍රියාවලියට යහපත් විදිහට මැදිහත් වෙන්න. ඒ කියන්නේ දැනට ඒ ලමයින්ගේ මොලයේ නියුරෝන මාවත් සැකසෙන්නේ බීමත් වීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය‍ දෙයක් හැටියට. ඒ විතරක් නෙවෙයි, නොබොන එක පිරිමි කමට ලැජ්ජාවක් හැටියට; බිරිඳට ගුටි බැට දෙන්නෙ නැත්නම් ඒක දුර්වල පිරිමි කමක් හැටියට. ඊට වෙනස් ආකාරයකට නියුරෝන මාවත් සැකසෙන්න ඒ ළමයින්ට ආදර්ශ නෑ.

සෝමසුන්දරම් මහත්තයා ඇතුළු පිරිස ගමේ ළමයින් නිවාඩු දවස්වල තපෝවනම් වෙත ගෙන්න ගෙන, වේදිකා නාට්‍ය, නැටුම්, සංගීතය, චිත්‍ර ඇඳීම, කරාටේ ක්‍රීඩාව, පිහිනීම සහ වැල්ලේ මූර්ති නිර්මාණය වැනි දේ කරන්නත් ඒව රසවිඳින්නත් මග පෙන්වනවා. නාට්‍යවල එන චරිත ඔක්කොම සතුන්. නමුත් ඒ කතාවල සාකච්ඡා වෙන්නෙ ඒ ගමේ පවුල්වල තියෙන ප්‍රශ්න සහ සමාජ ප්‍රශ්න. මේ වගේ ක්‍රියාකාරකම් ඔස්සේ ගෙදර දී නොලැබෙන අත්දැකීම් ප්‍රමාණයක් තපෝවනම් වෙතින් ළමයින්ට ලැබෙනවා. ඒ හැර විභාග ඉලක්ක කරපු කිසිවක් මෙහි උගන්වන්නේ නෑ.

ඒ ඒ වැඩසටහන් කරන්න සම්පත් පුද්ගලයො යාපනයෙන් ගෙන්න ගන්නවා. මම ඇහින් දැක්කා ඒ ළමයි කොච්චර දක්ෂ ද කියන එක සහ කොයි තරම් උනන්දුවකින් දරුවෝ ඒවට සහභාගී වෙනව ද කියන එක.

මෙහෙම එන ළමයින්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් දෙනවා තපෝවනම් වෙතින්. සමහරවිට මේ ළමයි තපෝවනම් වෙත එන්න උනන්දුවෙන තවත් හේතුවක් වෙනවා ඇත්තේ මේ පෝෂ්‍යදායී ආහාර වේල.

ඒ කෑම උයන්නේ මරියදාස් සහ ඔහුගේ බිරිඳ තමිළ් සෙල්වී. තමිල් සෙල්වි මන්නාරමේ කෙනෙක්. එයාගෙ තාත්තා දෙමළ ජනයාට වෙනම රටක් වෙනුවෙන් සහය දුන්නු කෙනෙක් නිසා හැම දරුවෙකුටම නම දාල තියෙන්නෙ ‘තමිළ්’ කියන මුල් කැල්ලත් එක්ක. ඒ නිසයි සෙල්වි ‘තමිළ්’ සෙල්වි වෙලා තියෙන්නෙ.

මම එහෙට ගියපු 22 දාත් ළමයි 50ක් විතර ආවා වැඩසටහන්වලට සහභාගී වෙන්න. මම තපෝවනම් ආයතනයට අලුත් නිසා කුස්සි පාටියේ වැඩ කරන්න අවස්ථාව ඉල්ලා ගත්තා. සෙල්වි, මරියදාස් සහ තවත් ගමේ ගැහැනු අයත් එක්ක මමත් වැඩ කළා. මම කළේ ලොකු ලූනු ගෙඩි 40ක් විතර සුද්ධ කරල ලියල දෙන එක, තක්කාලි සම්බෝලයක් හදන්න.

ළමයින් සඳහා කෙරෙන මේ ඔක්කොම කරන්න මුදල් සොයා ගන්නේ පරිත්‍යාගශීලීන් ගෙන්. මේ කියවන ඔබටත් පුළුවන් මේ වටිනා වැඩේට දායක වෙන්න. අවශ්‍ය විස්තර ලිපිය අග දක්වලා තියෙනවා.

වෛද්‍ය එස්. සිවදාස් මහතා පහුවදාත් ආවා. ඔහුට ලොකු උනන්දුවක් තිබුණා සතිමත් බව ගැන තවත් ටිකක් ගැඹුරින් දැනගන්න සහ අභ්‍යාස කරන්න. මම නැවතිලා හිටිය කුටිය ඉදිරියේ ඉඳගෙන අපි දෙන්නම ආනාපාන සතිය වැඩුවා. අවසානයේ පහුවදා යාපනය රෝහලේ දී හමුවීමට කතා කරගෙන එතුමා පිටත්ව ගියා.

පහුවදා යාපනය රෝහලේ වෛද්‍ය සිවදාස් මහතාගෙ කාමරයේ දී අපි හමුවුණා. මනෝවෛද්‍ය විද්‍යව හදාරණ පළමු වසර ශිෂ්‍ය කණ්ඩායමක් වෙනුවෙන්, මම කලින් දා සිදුකළ සතිමත් බව පවත්වා ගැනීම පිළිබඳ අභ්‍යාසයම කරන ලෙස එතුමා ඉල්ලා සිටියා. දෙමළ, මුස්ලිම් සහ සිංහල යන සියලු ජාතීන්ට අයත් වෛද්‍යපීඨ විද්‍ය‍ර්ථීන් පිරිසක් වෙනුවෙන් මම නැවත සතිය පිහිටුවා ගැනීම ගැන විනාඩි 20ක විතර වැඩසටහනක් සිදු කළා.

තපෝවනම් භූමියේ හාරපු පොකුනක නෙළුම් බීජ හිටෙව්වේ මම එහි ඉද්දි. ඒ බීජ අරගෙන ආවේ 'පුනරුත්තාපනය' කෙරුණු හිටපු එල්ටීටී සාමාජිකයෙක්. සෝමසුන්දරම් මහත්තයා කියපු විදිහට ඒ තැනැත්තා ‘පශ්චාත් කම්පන ආතති තත්වයෙන් (PTSD) පෙළෙන කෙනෙක්. ඒ කියන්නෙ සමහර දාට රෑ නින්ද්දි යුද බිමේ ඉන්නව වගේ දැනිල අවදි වෙලා කලබලයෙන් ඇඳයට හැංගෙන්න හදන එක, නැත්නම් කලබල වෙලා කෑකෝ ගහන එක වගේ දේවල්. මේක යුද්ධයට සම්බන්ධ වුණු හමුදාවෙ යුද සෙබලුන් අතරත් ඕන තරම් ඇති. ඒව දන්නව ඇත්තේ ඒ පවුල්වල අය විතරයි.

සෝමසුන්දරම් මහත්තයා නෙලුම් බීජ හිටවද්දි මට කිව්වා මොනව හරි ආගමික පාඨයක් සජ්ඣායනා කරන්න කියල. ඉතිං මම ඉවුරෙ ඉඳගෙන කරණීය මෙත්ත සූත්‍රයේ ගාථා හෙමින් තාලයකට කිව්වා. ඒක වෙනද පිරිත් කියනවට වඩා වෙනස් අත්දැකීමක්. ඒක මටත් හරිම සුවයක් දැනුණු මොහොතක්.

25 වෙනිදා රෑ 9ට කොළඹ බලා පිටත් වෙන බස් එකට එන්න 8 ට විතර මම තපෝවනම් වෙතින් පිටත් වෙන්න සූදානම් වෙලා මරියදාස් සහ සෙල්වි ජීවත්වෙන පොඩි ගොඩනැගිල්ල ළඟට ගියා. වැලි සහිත පොළොවෙ හිටගෙන හිටපු මගෙන්  ඒ ගොඩනැගිල්ලෙ පඩියට ගොඩවෙන්න කියල මරියදාස් ඉල්ලා හිටියා.   පොඩි විමතියකින් වුණත් මම ඒ ඉල්ලීම ඉටු කළා. මරියදාස් දනගහලා මට වැන්දා. ඉන්පස්සෙ සෙල්විත් ඒ ආකාරයටම මට දනගහලා වැන්දා. ඇත්තටම මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඒ හැසිරීම මාව පුදුමයට පත් කළා.

රෑ 8.10 ට විතර සෝමසුන්දරම් මහත්තයගෙන් සහ සෙල්විගෙන් සමුගෙන මරියදාස් එක්ක යාපනය බස් නැවතුම බලා පිටත් වුණා.

මේ කාලය පුරාම, මට හමු වූ දරුවන්ගේ සිට වැඩිහිටි සහ මහළු අය දක්වා හැම දෙනාගෙන්ම ලැබුණු ආදරය, පිලිගැනීම ඉතාම ඉහලයි. එය හිතට ගෙන දුන්නේ විශාල සතුටක්.

ඊට වෙනස් වුණු එකම අත්දැකීමට මුහුන දුන්නේ තෙලිප්පලෙයි දී. තෙලිප්පලෙයි කියන්නෙ යාපනේ ඉඳල කන්කසන්තුරේ පැත්තට කිලෝ මීටර් පහළොවක් විතර ගියාම හමුවන නගරයක්. එතැන ඉඳලා කන්කසන්තුරේට තියෙන්නේ කිලෝ මීටර් තුනහමාරක් විතර.  මම 25 වෙනිදා දවල් එහි ගියේ චෙල්වනායගම් අනුස්මරණ භාරයේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවෙන්න. ඔවුන් දුන් මගපෙන්වීම අනුව තනිව ත්‍රිරෝද රථයකින් ගොස් තෙලිප්පලෙයි හන්දියෙන් බැසගත් මම අදාළ ස්ථානය සොයාගැනීමට උත්සාහ කළා. එහි දී කඩවල සිටි මිනිසුන්ගේ ද, මහමග යන එන මිනිසුන්ගේ ද මුහුනුවල ලියැවී තිබුණේ දැඩි නොරිස්සුම් බවක්, නොකැමත්තක්, ප්‍රතික්ෂේප කිරීමක්. කිසිම කෙනෙක් මට සිනාවකින් ප්‍රතිචාර දැක්වූයේ නෑ. අවසානයේ චෙල්වනායගම් අනුස්මරණ භාරයේ කෙනෙකු පාරට පැමිණ මාව අදාළ තැන වෙත කැඳවාගෙන ගියා. හමුවෙන්නට ගිය පිරිස සමග සාකච්ඡාවෙ දි මම පාරෙදි මුහුන දුන් අත්දැකීම විස්තර කළා. ඔවුන්ගේ පිළිතුර වුණේ “ඔව්, ඔබ පිටත්ව ගිය පසු අපිටත්‍ සිදුවෙයි, මිනිස්සු අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න” කියායි. ඔවුන් කී පරිදි තෙලිප්පලෙයි හී දී මිනිසුන්ගෙන් එබඳු ප්‍රතිචාරයක් ලැබෙන්නට එකම හේතුව තෙලිප්පලෙයි  සිට කිලෝ මීටර් හතරක් විතර දුරින් ‘තිස්ස රජමහා විහාරය’ නමින් පවත්වාගෙන යන පංසලයි. එකී පංසල නිසා කංකසන්තුරේ මිනිසුන් භික්ෂූන් දෙස බලන්නේ ඉඩම් බලහත්කායෙන් අත්පත් කරගන්නට එන පිරිසක් ලෙසයි. ඒක පුදුම අවාසනාවක්.

තෙලිප්පලෙයි නගරයේ අත්දැකීම හැර යාපනයේ ගතකළ දින කිහිපය මට විශාල සුවපත් වීමක් ගෙනදුන් අත්දැකීමක්. මුනිවරයෙකු වන් සෝමසුන්දරම් මහතාගේ ඇසුර, අල්ලෙයිපිඩ්ඩි ගමේ දරුවන්ගෙන් ලැබුණු ළෙන්ගතු පිලිගැනීම, සිවදාස් වෛද්‍යවරයා සහ ඔහුගේ සිසුසිසුවියන්, මරියදාස් සහ සෙල්විගේ ආගන්තුක සත්කාර, වැඩසටහන් කිරීමට පැමිණි යාපනයේ නාට්‍යකරුවන්, නැටුම් ශිල්පීන්, සංගීත ශිල්පීන් වැනි අය හමුවීම, කලපුව අසල පැවති නිතර සිසිල් සුලං හමන දේසගුනය සහ දවසකට පැයක් විතර කලපු වතුරේ රැඳෙමින්, පිහිනමින් ජීවිතය සැහැල්ලුවෙන් මෙනෙහි කරන්නට ලැබුණු අවස්ථාව මාව විශාල වසයෙන් සුවපත් කළා.

ඒ නිසා ආපහු කොළඹ එන්න බස් එකට නැංගෙ විශාල සැහැල්ලු හිතකින්.

මේ මගේ අත්දැකීම යාපනයේ පෙර කී පංසල හැදූ හමුදා නිලධාරීනුත්, එහි දැන් වසන භික්ෂූන් වහන්සේත්, පොහෝ දිනවලට එහි සිල් ගන්න කොළඹ සිට යන ‘උපාසක’ ‘උපාසිකාවනුත්’ කියවනව නම් මම හරි සතුටුයි.

‘අල්ලගන්න හදන තරමට අහිමි වෙනවා - අත්හරිනකොට ලෝකයක් හිමි වෙනවා’

මේ කියවපු ඔබ තපෝවනම් පවත්වගෙන යන්න උදව් කරන්න කැමතිනම්:

THAPOVANAM YOGA AND MEDITATION CENTRE

Current account No:  1000769751

Commercial Bank, Velanai, Sri Lanka.

Swift Code: CCEYLKLX

www.thapovanam.com





Sunday, August 27

The Brain; The Story of You: උපදින්නේ අසම්පූර්ණවයි! 1.1 සිට 1.3 දක්වා

ඩේවිඩ් ඊගල්මන් නම් ස්නායු විශේෂඥයා විසින් රචිත The Brain; The Story of You නම් කෘතියේ දළ පරිවර්තනයකි මෙම ලිපි පෙළ යටතේ පළවන්නේ.  මොලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රාමාණික උගතුන් විසින් පර්යේෂණ පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති නව දැනුමට විවෘත වීම, අප සියලු දෙනා මුහුණ දෙන මානසික ප්‍රශ්න තේරුම් ගැනීමට අත්වැලක් සපයා ගැනීම හා ඒවායෙන් සුවපත් වීමට මග හෙලි කිරීම මෙම ප්‍රයත්නයේ අරමුණයි.


පරිච්ඡේදය 01: මම කව්ද?
1.1 උපදින්නේ අසම්පූර්ණවයි (Born Unfinished)
උපතේ දී මිනිසා හරිම අසරණයි. අවුරුද්දක් විතර ඇවිදගන්න බැරිව ඉන්න වෙනවා. අදහසක් ප්‍රකාශ කරගන්න තවත් අවුරුදු දෙකක් විතර ඉන්න වෙනවා. තව බොහෝ අවුරුදු ගණනක් ඉන්න ඕන තනිවම යමක් කරගන්න. ඒ නිසා අන් අය මතයි සම්පූර්ණයෙන්ම යැපෙන්න වෙන්නෙ.

මේ තත්ත්වෙ අනිත් ක්ෂීරපායි සතුන්ගෙන් වෙනස්. ඩෝල්පීන්ට ඉපැදුණු ගමන් පිහිනන්න පුළුවන්. පැය කීපයකින් ජිරාෆ් ඇවිදිනවා. මිනිත්තු 45 ක දී සීබ්‍රා පැටියෙකුට දුවන්න පුළුවන්. සත්ව ලෝකයේ අන් හැම සතෙකුම වගේ ඉපැදී කෙටි වෙලාවක දී ම ස්වාධීන වෙනවා. 

බැලූ බැල්මට සතුන්ගේ මේ හැකියාව ඔවුන්ට ලොකු වාසිදායක දෙයක් වගේ පෙනුනත් ඒ වාසිදායක තත්ත්වය පෙන්වන්නේම ඒ සතුන්ට තිබෙන ලොකු සීමාවක්. 

සත්ව පැටවුන්ට මේ හැකියාව ලැබෙන්නෙ ඔවුන්ගේ මොලයේ පරිපත සැකසෙන්නේ කලින්ම තීරණය වූ මාර්ග ඔස්සේ වන බැවින් (their brains are wiring up according to a largely preprogrammed routine). ඒ නිසා සත්ව පැටවුන් තුළ පරිසරයට අනුව වෙනස් වෙනස් ආකාර පරිපත මොලයේ සැකසෙන්නෙ නෑ. 

මෙසේ කලින්ම තීරණය වූ ක්‍රමයකට මොලයේ පරිපත සැකසෙන බැවින් නව තත්ත්වයනට අනුගත වෙමින් පසුව පරිපත වෙනස් කරගැනීමට ඔවුන්ට නොහැකියි. මේ නිසා රයිනෝසරයෙකු ආර්ක්ටික් තුන්ද්‍රා ප්‍රදේශයක, හිමාලයේ කඳු මුදුනක හෝ ජපානයේ ටෝකියෝව වැනි තැනක තැබුව හොත් ඌට එම පරිසරයට අනුගත වීමට නොහැකියි. 

නමුත් මිනිසාට එකිනෙකෙන් වෙනස් ඕනෑම පරිසරයකට පහසුවෙන් අනුගත විය හැකිය. එසේ හැකිවන්නේ මිනිසා ඉපැදෙන්නේම සම්පූර්ණත්වයට පත් නොවුණු මොලයක් ඇතිව වන බැවිනි; කලින්ම සැකසුනු සැලැස්මකට අනුව මිනිසාගේ මොලයේ පරිපත සැකසෙන්නේ නැති බැවිනි. එනිසා මිනිසාගේ මොලයට ජීවිත අත්දැකීම් අනුව නැවත නැවත සකස්විය හැකිය.

පෙර කී පරිදි, මානව දරුවාට ස්වාධීන වීමට දිගු කලක් ගතවන්නේ උපතේ දී ළාමක තත්ත්වයක පවත්නා මොලය පරිසරයේ තත්ත්වයන් හඳුණාගනිමින්, ඒවාට අනුව, පරිපත සකසා ගැනීමට දිගු කලක් ගතවන බැවිනි.

1.2 ළමා වියේ සිදුවන 'කප්පාදුව': කිරිගරුඬ පර්වතයකින් ප්‍රථිමාව මතුකර ගැනීම
මානවයාගේ ළදරු මොලයේ දක්නට ලැබෙන 'නම්‍යතාවය' (පහසුවෙන් හැඩගැසිය හැකි තත්ත්වය) පි‍ටුපස ඇති රහස මොකක් ද? ඒ අලුතින් වර්ධනය වන මොලයේ සෛල සංඛ්‍යාව නම් නොවෙයි. ඇත්තම කියනවා නම් ළමා මොලයේත් වැඩිහිටි මොලයේත් සෛල ප්‍රමාණය සංඛ්‍යාවෙන් එකමය. එහෙනම් රහස මොකක් ද? රහස ඇත්තේ සෛල සංඛ්‍යාවේ නොව සෛල අතර සම්බන්ධතා (Synapses) ඇතිවන ආකාරයේ ය. 

උපතේ දී ළදරු ස්නායු පවතින්නේ එකිනෙක හා සම්බන්ධ වීමකින් තොරවය. නමුත් උපතේ සිට ගතවන පළමු අවුරුදු දෙකේ දී, ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රියයන් ඔස්සේ තොරතුරු ලබා ගැනීමත් එක්ක මේවා මහා වේගයකින් එකිනෙක හා සම්බන්ධ වීම ආරම්භ වේ. කොතරම් වේගයකින් එම සම්බන්ධතා සැකසේ ද යත් සෑම තත්පරකයකටම මෙබඳු සම්බන්ධතා මිලියන දෙකක් පමණ ළදරුවෙකුගේ මොලයේ සැකසෙයි. වසර දෙක සම්පූර්ණ වන විට දරුවෙකුගේ මොලයේ මෙබඳු සම්බන්ධතා (Synapses) ට්‍රිලියන සියයක් පමණ සැකසී අවසන්ය. එය සංඛ්‍යාවෙන් වැඩිහිටියෙකුගේ මොලයේ සෛල අතර සම්බන්ධතා සංඛ්‍යාව මෙන් දෙගුණයකි. වසර දෙක වනවිට සෛල අතර සම්බන්ධතා සංඛ්‍යාවේ උපරිමයට ළඟා වී හමාරය. අවශ්‍ය සංඛ්‍යාවටත් වඩා දැන් සම්බන්ධතා සැකසී ඇත.

මෙතන් සිට වෙනත් ක්‍රියාවලියක් ආරම්භ වේ. එනම් මේ ඇතිවුණු සම්බන්ධතා 'කප්පාදු වීමක්' ආරම්භ වීමයි. එම ක්‍රියාවලිය නිසා දරුවා වයස දෙකේ දී තිබුණු මොලයේ සෛල අතර සම්බන්ධතා සංඛ්‍යාව වැඩිහිටියෙකු වන විට සියයට පනහකින්ම කප්පාදු වී ඉවත් වී යයි.

මේ කපාදුව සිදුවන්නේ කෙසේ ද? මෙතෙක් සැකසී තිබුණු ස්නායු සම්බන්ධතා වලින් වැඩිපුර හා නිතර භාවිතයට ගැනෙන සම්බන්ධතා ශක්තිමත් වේ. එහෙත් භාවිතයට නොගන්නා සම්බන්ධතා ක්‍රමයෙන් දුර්වල වී කප්පාදු වී යයි. හරියටම එය කැලෑබද පෙදෙසක ඇති එකෙනෙකට සම්බන්ධ අඩි පාරවල් ගොඩක් වැනි ය. ඔබ කලක් භාවිතා නොකර අත්හැර දැමූ අඩි පාරවල් ක්‍රමයෙන් හඳුනාගත නොහැකි සේ කැලයෙන් වැසී යන්නාක් මෙනි. ඒ අනුව කෙනෙකු කවුරුන් ද යන්න තීරණය කෙරෙන්නේ ඔහු/ඇය ගොඩනගා ගත් මොලයේ සෛල සම්බන්ධතා ප්‍රමානය මත නොවේ. එසේ ගොඩනගා ගත් සම්බන්ධතාවලින් කප්පාදු කොට ඉවත් කරන ලද සියයට පනහ කුමක් ද යන්න මතය.

අපේ ළමාවියේ පරිසරයට අදාළ හැකියාවන් ඉතිරි කරමින් සහ භාවිතයට නොගන්නා හැකියාවන් ඉවත් කරමින්, අපගේ මොලය සැකසෙනු ලැබෙයි. උදාහරණයකට ඔබ ළදරු වියේ දී අහන්නට ලැබෙන භාෂාවේ ශබ්ද හඳුණාගැනීමට ඔබ හොඳින් හුරුවන අතර වෙනත් භාෂාවක ඇති ශබ්ද ඇසීමට ඇති හැකියාව ක්‍රමයෙන් දුර්වල වී යයි.

උදාහරණයකට ජපානයේ සහ ඇමෙරිකාවේ උපන් දරුවන් දෙදෙනෙකු ආරම්භයේ දී එම භාෂා දෙකේම ශබ්ද එකම ආකරයට හඳුණාගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට සමත් ය. නමුත් කාලයත් සමග ජපානයේ වැඩෙන දරුවා ජපන් භාෂාවේ වෙන්ව හඳුණාගත නොහැකි R සහ L ශබ්ද දෙකෙහි වෙනස හඳුණා ගැනීමට අසමත් වේ. 

ඒ අනුව නිගමනය කළ හැක්කේ අප කවුරුන්ද යන්න හැඩගස්වනු ලබන්නේ අපට වැඩෙන්නට සිදුවන වටපිටාව විසින් බව ය (We are sculptured by the world we happen to drop into).

1.3 ස්වභාවධර්මයේ සූදුව
අන් සතුනට සාපෙක්ෂව අපේ දිගු ළමා කාලය තුළ පරිසරයේ තත්ත්වයනට ඔබින ලෙස මොලය සකස් වන්නේ එහි ස්නායු සම්බන්ධතා අඛණ්ඩව කප්පාදු කරගැනීමෙනි. මෙය පරිසරයට ගැලපීම සඳහා ගොඩනැගී ඇති විශිෂ්ට ක්‍රමයක් වුවත්, එහි අණතුරුදායක බවක් ද පවතී. එනම්, මොලය වැඩෙන අවධියේ දරුවාට රැකවරණය හා සෙනෙහස හොඳින් ලැබෙන වටපිටාවක් නොලැබුණහොත් මොලයේ සාමාන්‍ය වර්ධනයට එයින් විශාල බලපෑමක් සිදුවන බැවිනි. 

මෙයට උදාහරණ ලෙස දිය හැකි සිදුවීමක් විස්කොන්සින්වලින් වාර්තා වේ. විස්කොන්සින් හි ජීවත් වූ කැරොල් සහ බිල් දරුවන් තිදෙනෙකුව හදාවඩාගැනීමට ගත් අතර එවිට එම දරුවන් වයස 4 පසු විය. එම දරුවන් ඔවුන් ලබා ගත්තේ රුමේනියාවේ රජය විසින් පවත්වාගෙන ගිය ඉතාම නරක තත්ත්වයක පැවති ළමා නිවාසයකිනි. එම පරිසරයේ බලපෑම නිසා මේ දරුවන් තුන් දෙනාගේ ම මොලයේ වර්ධනයට විශාල බලපෑමක් සිදු ව තුබුණු අතර වැඩෙන විට මොවුන් තිදෙනා ම ඉගෙනීමේ දුබලතා පෙන්නුම් කරන්නට වූහ.

රුමේනියාවේ පිහිටි මෙම ළමා නිවාසයට ගිය බොස්ටන් ළමා රෝහලේ මහාචාර්ය චාර්ල්ස් නෙල්සන් ඉදිරිපත් කරන විස්තරය අනුව එහි දරුවන් තොටිලි වල දමා තිබුණු අතර කිසිම සංවේදන (කතා කිරීම, සුරතල් කිරීම වැනි) උත්තේජනය කිරීමක් (sensory stimulation) එහි නොවීය. දරුවන් බලා ගැනීමට සිටියේ 15 දෙනෙකුට එක් අයෙකු බැගින් වූ සේවක පිරිසකි. ඔවුන්ට දරුවන් වඩාගැනීම තහනම් වූ අතර හඬන විට දී වත් ආදරය පෙන්වීම තහනම් විය. හේතුව දරුවන්ට ආදරය පෙන් වුවහොත් ඔවුන් එයට හුරු වීම නිසා වැඩි වැඩියෙන් ආදරය බලාපොරොත්තු වීම වැළැක්වීම ය. එතරම් දරු පිරිසකට ආදරය දැක්වීමට තරම් සේවකයින් එහි නොවූ බැවිනි. මේ නිසා ළමා නිවාසයේ කටයුතු බොහෝ දුරට හමුදා කඳවුරක වැනි විය. 

හඬන විට කිසිවෙකු අවධානය නොදක්වන බැවින් නොහඬා සිටීමට දරුවෝ ක්‍රමයෙන් පුරුදු වූහ. දරුවන් සමග කිසිවෙකු සෙල්ලම් කළේ නැත. ආහාර, ඇඳුම් සහ බෙහෙත් ආදිය අඩුවකින් තොරව ලබා දුන් නමුත් සෙනෙහස දැක්වීම සහ මොනම ආකාරයක හෝ උත්තේජනය කිරීමක් එහි නොවීය. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ දරුවෝ ඕනෑම කෙනෙකුට වෙනසකින් තොරව වහා හිතවත්කම් පෑමට හුරු වූහ. නෙල්සන් මොවුන් සිටි කාමරයකට ගිය විට පළමු වතාවට ඔහුව දු‍ටු මෙම දරුවෝ ඔහු වටකොට ගෙන ඇඟේ එල්ලෙන්නටත්, ඔඩොක්කුවේ හිඳගන්නටත් අත අල්ලාගෙන ඇවිදින්න යන්නටත් උත්සාහ කළෝය. මෙය සිත් ගන්නාසුළු ආකර්ෂණීය හැසිරීමක් ලෙස පෙනුනත්, මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නොසලකා හරින ලද දරුවන් ඒ අඩුව කළමනාකරණය කරගන්නා ආකාරයයි. (මෙය දිගු කාලීන සම්බන්ධතා අවුල් වීම් (attachment issues) සමග ඉතා කිට්‍ටුවෙන් සම්බන්ධය). මේ හැසිරීම ළමා නිවාස වැනි ආයතනවල විශේෂ අවධානයකින් තොරව වැඩෙන දරුවන්ට පොදු වූ තත්ත්වයකි. 

මේ අත්දැකීමෙන් කම්පනයට පත් නෙල්සන් මේ ගැන වැඩිදුර පර්යේෂණ කිරීම ආරම්භ කළේ ය. උපතේ සිට ළමා නිවාස වැනි ආයතනවල වැඩුණු මාස හයේ සිට අවුරුදු තුන දක්වා වූ දරුවන් 136 දෙනෙකු මේ පර්යේෂණයට යොදා ගන්නා ලදි. මෙහි දී මූලික වශයෙන් ඔහු හඳුනා ගත්තේ සාමාන්‍යයෙන් IQ මට්ටම 100 විය යුතු තත්ත්වයේ දී මේ දරුවන්ගෙ පැවතියේ 60-70 අතර බව ය. මේ දරුවන් ගේ මොලයේ වර්ධනයේ පසුබෑමක් පෙන්නුම් කළ අතර භාෂාව ඉගෙනීමට බොහෝ කල් ගන්නා බව මූලික වසයෙන් හඳුණා ගන්නා ලදි. Electroencephalography (EEG) තාක්ෂණය යොදාගෙන මේ දරුවන්ගේ මොලයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ විට හෙළිවූයේ ඒවායේ ස්නායු ක්‍රියාකාරීත්වය ඉතා පහල මට්ටමක තිබූ බවයි.

මෙයින් හෙළිවන්නේ භාවමය පෝෂණය (emotional care) හා ඥානය උත්තේජනය කිරීම් (cognitive stimulation) නොමැති පරිසරයක මිනිස් මොලයට සාමාන්‍ය ලෙස වර්ධනය වීමට නොහැකි බවයි. 

මෙහි තවත් පැත්තක් මෙම පර්යේෂණයෙන් හෙළිදරව් විය. එනම්, මෙම ළමයින් ආදරය කරුණාව හා ඥානය උත්තේජනය කිරීම් සහිත පරිසරයකට මාරු කළ විට ඔවුන්ගේ මොලය විවිධ මට්ටම්වලින් නැවත සුවපත්වන බවයි. අඩු වයසක දී ඔවුන් එසේ වෙනස් පරිසරයකට ගෙනගිය හොත් ඔවුන්ගේ සුවපත්වීම වඩා යහපත් බවයි. පොදුවේ අවුරුදු දෙකට අඩු වයසේ දී එසේ වෙනත් ස්ථානවලට ගෙනගිය දරුවෝ වඩා හොඳින් සුවපත් වූහ. නමුත් ඊට වඩා වැඩුණු දරුවන් විවිධ වර්ධන ගැටලු පෙන්නුම් කළේය. 

නෙල්සන්ගේ පර්යේෂණ ප්‍රතිඵල වලින් තහවුරු වන්නේ දරුවෙකුගේ වැඩෙන මොලයට ආදරය, කරුණාව, අවධානය සහ රැකබලා ගන්නා පරිසරයක් තිබීම කොතරම් වැදගත් ද, යන්නය. තව ද, අප අනාගතයේ කෙබඳු පුද්ගලයන් බවට පත්වන්නේ ද යන්න තීරණය වීමට අප වැඩෙන පරිසරය කොතරම් නම් වැදගත් ද යන්නය (who we are depends heavily on where we have been) . 






Monday, February 5

බෞද්ධ ආගමික චාරිත්‍ර සහ වත්පිළිවෙත් පිලිබඳ නැවත කියැවීම් අවශ්‍යය!

ශ්‍රී ලංකාවේ පවත්නා බෞද්ධ ආරාමික ආයතන ද ඇතුලත් පොදු බෞද්ධ සමාජයම විශාල විපරිවර්තනයකට යායුතු කාලය උදා වී ඇත. ඒ අප අතර පවත්නා බොහෝ චාරිත්‍රවල මුල් අදහස් ගිලිහි ගොස් ඇති බැවිණි.
අප විසින් විකල්ප කියැවීමක් හඳුන්වා දිය යුතු එක් වැදගත් මාතෘකාවක් ලෙස ‘සාංඝික දානය’ දකිමු. ඒ ඉතා උසස් සංකල්පයක් අද වන විට එම මුල් අර්ථයෙන් මහත් සේ බැහැරව ගොස් සමාජයට අහිතකර දෙයක් දක්වා වර්ධනය වී ඇති බැවිනි. 

‘දානය’ යනු තමන් සඳහා ලාභ ප්‍රයෝජන හෝ වෙනත් කිසිවක් අත්කර ගැනීමේ හෝ එකතුකර ගැනීමේ  අපේක්ෂාවකින් තොරව  කරන අත් හැරීමයි. තණ්හාව’ මිනිස් ගැටළුවලට සහ දුකට හේතුවන ‘මූලහේතුවක්’ වන අතර මෙකී ‘මූල හේතුව’ නැසීම සඳහා බුදුන්වහන්සේ විසින් හඳුන්වා දුන් ‘අභ්‍යාසය’ නම් ‘දානයයි’. මේ අභ්‍යාසය මගින් පුහුණු කෙරෙනුයේ තණ්හාව අඩුකර ගැනීම වන අතර ඒ ඔස්සේ සතුටින් ජීවත් වීමට මනුෂ්‍යයාට මහත් උපකාරයක් සැළසෙයි. ඊට අමතරව බෙදා හදා ගැනීම  පිබඳව මෙයින් ඉගැන්වෙන පාඩම ද ඉතාම අගනේය.

පුද්ගල සැනසීමට එතරම් වැදගත්වන ‘දානය’ නම් ක්‍රියාකාරකම තවදුරටත් ‘පොදු සමාජයට’ අර්ථයක් ඇතිවන ලෙසට කෙරෙන අත්හැරීමක් බවට පත්කෙරෙන්නේ ‘සාංඝික’ දානය තුළිනි. එනම් පුද්ගලයෙකු, දෙන්නෙකු වෙත ලබාදෙන දානයක්  ලෙස නොව පොදු සමාජයේ හෙවත් සමූහයේ ප්‍රයෝජනයට, සුබසිද්ධියට හා යහපැවැත්මට හේතුවන ආකාරයට පොදු දේපලක් බවට පත් කරමින් කරන අත්හැරීම ‘සාංඝික දානයයි’. එවක ද, අද ද  පොදු ජනයාගෙන් ලැබෙන අහරින් යැපෙමින් පොදු ජිවිතයක් ගතකරන පිරිසගේ පැවැත්ම සඳහා උපකාරවන ලෙස කරන ප්‍රදානය ‘සාංඝික’ දානය ලෙස හැඳින්වෙන පමණින් භික්ෂූන් සඳහා උසස්ලෙස සකසන ලද අහර ද, අටපිරිකර සහ සෙසු පිරිකර ද සහිතව දෙන දානය පමණක් ම සංඝික දානය වන්නේ යයි නිගමනය නොකළ යුතුය. ඒ වෙනුවට සාංඝික දානය යන්නෙහි පුළුල් අර්ථ හඳුණා ගනිමින් එය අදට අදාළ වන ආකාරය ගොඩනංවා ගැනීමට අප සමත් විය යුතුය.

අද සාංඝික දානයක් දෙන පුද්ගලයෙකු ඒ  සඳහා කොතරම් නම් වෙහෙසක් ගතයුතු ද? සංඝික දානයක් නම් භික්ෂූන් වහන්සේලා දසනමක් වත් ඒ වෙනුවෙන් වැඩමවා ගත යුතුය. මාස කිහිපයක සිට ඒ සඳහා සූදානම් වීම ඇරඹිය යුතුය. එළවලු මාලුපිනි බොහෝ ප්‍රමාණයක් සුදානම් කළයුතු අතර කිරි, පැණි, වටලප්පන්, කැවිලි වර්ග හා පලතුරු වර්ග ගණනාවක් ද සුදානම් කළ යුතුය. එසේම පිරිකර වර්ග සහ අටපිරිකර කිහිපයක් ද සුදානම් කර ගත යුතුය. තව ද ආසන සඳහා කොට්ට මෙට්ට, ඇතිරිලි ද, පිගන් කෝප්පද දීසි, පඩික්කම් ආදිය ද වෙනම සුදානම් කළ යුතුය. දානය පැවැත්වෙන දිනට පෙරදින රාත්‍රියේ සිටම නිවසේ කාන්තාවන් ඥාති කාන්තාවන් ද සමග එකතු වී දානය සුදානම් කළ යුතුය. දානය පිළිගන්වන අවස්ථාව ද ඇතැම් විට මහත් කලබල සහිත මොහොතකි. නිදහස්ව සාමකාමී පරිසරයක සිට සතුටින් කරන ක්‍රියාවකට වඩා අනුපිලිවෙල වරදීදෝ’යි මහත් බයෙන් යුතුව කරන පූජා චාරිත්‍රයක් බවට දන් බෙදීම බොහෝ තැනක පත්වෙයි.
බුදුදහම අනුබල දෙන්නේ නිවුණු සිතින් කලබල නැතිව තමාගේ හැකියාවේ ප්‍රමාණයට කරන යහපත් ක්‍රියාවලටය. සාංඝික දානයක් දෙනවිට එබඳු ශාන්ත කමක් පවත්වා ගැනීම කොතරම් අපහසු දැයි ඔබම හිතන්න.

වර්තමානයේ පවත්වන සාංඝික දානයේ අනෙක් හානිකර පක්ෂය වන්නේ දැරිය යුතු විශාල වියදමයි. දුප්පත් මනුෂ්‍යයෙකුට ඉහත ආකාරයේ දානයක් දීම කොතරම් වෙහෙසකර දැයි ඔබම සිතා බලන්න. එහෙත් මළ ගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීමට නම් සාංඝිකව දානයක් දීම අත්‍යාවශ්‍ය සේ සමාජයේ පිළිගැනීමක් ඇති බැවින් සමාජ අපවාදවලින් බේරීමට හෝ එකවරක් වත් සාංඝික කර දානයක් පිරිනැමීමට ඕනෑම දුප්පතෙකු පෙළඹේ. මේ තත්ත්වය නිසා දුප්පතුන් කොතරම් නම් පීඩනයකට පත් වෙනවා ඇත් ද?
දානය පිළිගන්නා භික්ෂූන් වහන්සේට ද අද පවත්නා සාංඝික දානයෙන් සිදුවන්නේ අනර්ථයකි. කය වෙහෙසා වැඩ නොකරන භික්ෂූන් වහන්සේලා නිතර අධික පෝෂ්‍ය ජනක සහ මේදය බහුල ආහාර ගැනීමෙන් බරපතල සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටිති.

මේ තත්වය යටතේ අප කළ යුතුව ඇත්තේ පොදු සමූහයේ දියුණුවට හා ප්‍රගතියට මුල්තැන දෙමින්, තමතම හැකියාවට සරිලන පරිදී සහ කිසිවෙකුට හානිකර නොවන පරිදි ‘සාංඝික දානය’ නැවත සකස් කර ගැනීමයි.  එහි දී ‘පොදු සමාජයේ’ එනම් සංඝයේ (භික්ෂු සංඝ ද ඇතුලත්) යහපතට හේතුවන ආකාරයේ වැඩපිළිවෙලක් සාර්ථක කිරීම සඳහා ශ්‍රමය දීම, දැනුම දීම, හෝ වෙනත් ඕනෑම ආකාරයකට කරන ප්‍රඥා ගෝචර ප්‍රදානය  සංඝික දානය ලෙසට හැඳින්විය හැකිය.   ඒ පරිවර්තනය සිදුකරගැනීමට අප එඩිතර විය යුතුය.

(මෙම ලිපිය 2018 ජනවාරි 2 වෙනි සිකුරාදා රැස පුවත් පතේ පළ විය)




Friday, January 26

වල්පොළ රාහුල හාමුදුරුවන් සමග පිරිත් ඇසීමි

අද ලිපියෙන් මා උත්සාහ කරන්නේ වල්පොළ රහුල හාමුදුරුවන් සමග එකට ජීවත්වීමෙන් ලද අත්දැකීමක් ඔබ සමග බෙදාගන්නයි. එයට පෙර මා කැමතියි වල්පොළ රාහුල හාමුදුරුවන් කවුරුන්දැයි මදක් හඳුන්වා දෙන්න.

වල්පොළ රාහුල හාමුදුරුවො ඉපදෙන්නෙ 1907  අවුරුද්දෙ, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයෙ.  පුද්ගලික ගුරුවරුන් යටතේ ඉතා මහන්සියෙන් අධ්‍යාපනය ලබන රාහුල හාමුදුරුවෝ ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ පළමු භික්ෂුන් වහන්සේයි. ඒ 1931 දී. භික්ෂුවක් විශ්වවිද්‍යාලයට නොයායුතු යැයි විරෝධතා මතුවෙත් දී රාහුල හාමුදුරුවන්ගේ ගමනට සහය ලැබෙන්නේ සමාජයේ සුළු පිරිසකගෙන් පමණයි. ඒ අතරින් විශේෂයි සරවනමුත්තු තංගරාජා මහතා. විශ්වවිද්‍යාලයට ගාස්තු ගෙවිය යුතු එම සමයේ රාහුල හාමුදුරුවන්ගේ සියලු අධ්‍යාපන වියදම් දරන ලද්දේ තංගරාජා මහතා විසිනි. 

පසුගිය සියවසේ බිහි වූ විශිෂ්ටතම බෞද්ධ පඬිවරයෙකු වූ රාහුල හිමියන් ගොඩනගන්නට වැඩිම දායකත්වයක් දරා ඇත්තේ දෙමළ බස තම මව් භාෂාව කරගත් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයෙකු වීම ඉතිහාසයේ විශේෂයෙන් සඳහන් විය යුතු කරුණකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සම්පුර්ණ කළ රාහුල හිමියෝ ලක්දිව බුදුසමයේ ඉතිහාසය නමින් පසුව ප්‍රකාශයට පත් වුණු පර්යේෂණ කෘතිය ඉදිරිපත් කරමින් අචාර්ය උපාධිය ද ලබා ගත්තේය.

රාහුල හිමියන් ගේ විවිධ අත විහිදුණු විශාල කාර්ය භාරය අතර විශේෂයෙන් කැපී පෙනෙන අංශයක් වන්නේ බෞද්ධ සමාජයට විචාරශීලිත්වය හඳුන්වා දීමට ගන්නා ලද උත්සාහයයි. අද පොතක් ලෙස ලබා ගත හැකි ‘සත්‍යෝදය’ නම් කෘතිය තුළ අන්තර්ගත වන්නේ උන්වහන්සේ මේ ඉලක්කය සාධනය කරගැනීම සඳහා 1930 දශකයේ දී කරන ලද දේශනාවල එකතුවයි. බෞද්ධ නාමයෙන් කෙරෙන නිරර්ථක පුදපූජා, කුල ක්‍රමය සමාජයේ පවත්වා ගැනීමට බෞද්ධ භික්ෂු සංස්ථාවම දායක වීම, ලාභ ලැබීමේ අරමුණෙන් ආගම භාවිතා කිරීම ආදිය උන්වහන්සේ මෙම දේශනා හා පත්‍රිකා ඔස්සේ ප්‍රශ්න කළේය. උන්වහන්සේ එදා ගත් උත්සාහය සාර්ථක විණි නම් අද බෞද්ධ සමාජය ලංකාවේ වඩාත්ම දියුණු ලෙස සිතන ජන සමාජය වීමට ඉඩ තිබුණු අතර එය පොදුවේ ශ්‍රී ලාංකේය ජන සමාජය ඉදිරියට ගෙන යන ආලෝකය වීමට ද ඉඩ තිබුණි.

රාහුල හිමියෝ උන්වහන්සේ ගේ ජිවිතයේ අවසාන කාලයේ වැඩසිටියේ දියවන්නා ඔය අසල පිහිටි අද ‘වල්පොළ රාහුල ආයතනය’ ලෙස හැඳින්වෙන ආයතනයේයි. එවක මම විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍ය භික්ෂුවක් වීමි. රාහුල හිමියෝ සෑම දිනෙකම හවස පහට පමණ ආයතනය ඉදිරිපස පිහිටි කොරිඩෝවේ හාන්සිපුටුවක හිඳගන්නා අතර මම ඒ අසල වූ බැම්මෙහි හිඳගනිමි. එතැන් සිට රාත්‍රී 8 පමණ වනතුරු සිදුවන සාකච්ඡාව ඉතාම ප්‍රියජනක, හරවත් හා රසවත් සාකච්ඡාවක්ම විය. එසේ සාකච්ඡා වුණු කරුණු පදනම් කරගෙන ලිපි පෙළක්ම වුව ලිවිය හැකිය.

මෙසේ සිදුවන අපගේ සාකච්ඡාව අතරමග නවතන්නට වන සිදුවීමක් හැමදාම සිදුවෙයි. ඒ දියවන්නාවේ අනෙක් පස පිහිටි විහාරස්ථානයේ පිරිත් ප්‍රචාරය කෙරෙන අවස්ථාවයි. සෑම දිනකම සවස 6.00 සිට 6.30 දක්වා ශබ්දවාහිනී යන්ත්‍රයක් මගින් පිරිත් ප්‍රචාරය කිරීම ඇරඹෙන අතර ඒ සමගම කලින් කතා කරගත්තාක් මෙන් අප අතර සිදුවෙමින් පවතින සාකච්ඡාව ඉබේම නවතියි. නැවත අප අතර සාකච්ඡාව ඇරඹෙන්නේ පිරිත් අවසන් වුවාට පසුවය.

මම සිතා සිටියේ රාහුල හාමුදුරුවෝ පිරිත් ශ්‍රවනය කිරීම සඳහා නිහඬ වෙනවා කියාය. යකඩ කටින් මුළු පළාතටම ඇසෙන පරිදි මහා හඬින් ප්‍රචාරය වන පිරිතේ අමුතු මිහිරක් නැති නමුත් පිරිත අවසන් වනතුරුම මම ද නිහඬව රාහුල හිමියන් සමග හිඳගෙන සිටින්නට පුරුදු වීමි. මෙය වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලයි.

මෙසේ පිරිත ප්‍රචාරය වන අතර එක දිනක් සිදුවුණු සිදුවීමක් රාහුල හාමුදුරුවෝ මේ පිරිත් ප්‍රචාරය ගැන සිතන ආකාරය හෙළිදරව් කළේය. මොකක්දෝ කාර්මික දෝෂයක් නිසා දවසක් ‘ශ්රෝස්.. බ්රෝස්..’ හඬ නගා හදිසියේම පිරිත නැවතිණි. මුළු පරිසරය එකවරම නැවත නිහඬ විය. එතෙක් දෑස් පියාගෙන හාන්සි පුටුවේ ඇළවී සිටි රාහුල හාමුදුරුවෝ වහා කෙලින් වී හිඳ ගතතේය. “අන්න අරක යන්තං නතර වුණා..” පියකරු සිනාවකින් පිරිණු මුහුණින් යුතුව රාහල හාමුදුරුවෝ ප්‍රකාශ කළේය.  

(මෙම ලිපිය 2018.01.26 සිකුරාදා 'රැස' පුවත් පතේ 13 පිටුවේ 'සති' විශේෂාංගය යටතේ පළවිය. http://epaper.resa.lk/?id=13&tday=2018/01/26)  




Friday, January 19

අනුගාමිකයින්ගෙන් පණිවුඩය බේරා ගැනීම ලොකුම අභියෝගයයි!


ඒ 2016 සැප්තැම්බර් මාසයේ දිනයකි. මම පුස්තකාලයට වී පොතක් කියවමින් සිටියෙමි. මේ අතර එකවර හෙලිකොප්ටරයක හඬ ඇසෙන්නේට පටන්ගත්තේය. පාර්ලිමේන්තුවට කිසියම් අමුත්තෙකු එනවා ඇතැයි මා මුලින් සිතුවෙමි. එහෙත් හෙලිකොප්ටරයේ හඬ එන්න එන්නම වැඩිවන්නට විය. අවට පරිසරයේ හුන් ලේනුන්, කොරවක්කන් සහ කුරුල්ලන් හදිසි විපතක් සිදුවන්නට යන්නාක් මෙන් මහත් කලබලයට පත්ව කෑකෝගසන්නට විය. පුස්තකාලයේ මේසය උඩට වී එතෙක් නිදාගෙන සිටි බළලා ද කලබලයට පත්ව මේසයෙන් බිමට පැන පුස්තකාලයෙන් එලියට පැනගත හැකි මගක් සොයමින් ඒ මේ ඇත දුවන්නට විය. හෙලිකොප්ටරය ඉතා පහතින් අප පසුකර යන්නට ගියේය. ක්‍රමයෙන් නැවත පරිසරය සන්සුන්විය. බළලා ද මදක් සන්සුන්ව පසෙකින් හිඳ ගත්තේය. මම ද නැවත පොත කියවන්නට වීමි.



විනාඩි තුනක් පමණ ගතවන්නට ඇත. නැවත හෙලිකොප්ටරයේ අමිහිරි ඝෝෂාකාරී නාදය ඇසෙන්නට විය. මෙවර පෙරටත් වඩා පහතින් සහ ළගින් එය ගමන් කරන බව පෙනුණි. බළලාට එලියට පැනගන්න ඉඩ නොදී තවදුරටත් පුස්තකාලයේ ඉන්නට හැරියොත් පොත් සෑහෙන ප්‍රමාණයක් බිම දමන බව පෙනුණු බැවින් පුස්තකාලයේ දොර හැර ඌට පැන දුවන්නට ඉඩ දී මම ද පිටතට පැමිණියෙමි.

හෙලිකොප්ටරයක් ඉතා පහතින් අප පසුකොට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට උඩින් ජයන්තිපුරය දෙසට ධාවනය විය. එය ජනකලා කේන්ද්‍රය, මාදිවෙල ඔස්සේ බැද්දගාන වගුරුබිම්වලට ඉතා සමීපව ගමන් කරමින් නැවත නැවතත් අපගේ හිසට උඩින් ධාවනය කරන්නට විය. පාර්ලිමේන්තු පාර දිගේ පාර්ලිමේන්තුව දෙසට ගෙන යන මෘත දේහයකට ගුවනේ සිට මල් ඉසීම සඳහා මේ මහා කලබලය සිදු කරන බව අපට පෙනී ගියේය. ලංකාවේ ප්‍රමුඛතම වනගත භාවනා මධ්‍යස්ථානයක් වූ නා උයන අරණ්‍ය සේනසනයේ භාවනා අචාර්යයන් වහන්සේ වූ නා උයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහනය එදින සිදුවන බව මට මතක් වූයේ එවිටය.

නා උයනේ අරියධම්ම හිමියෝ මෑත ලංකාවේ ජිවත් වූ ප්‍රමුඛතම භාවනා අචාර්යයන් වහන්සේය. උන්වහන්සේ මුළු ජිවිත කාලයක් භාවනා යෝගීව ගල් ලෙන් ආශ්‍රිත වනසෙනසුන්වල ජිවත් වූ අතර දෙස් විදෙස් විශාල ජනපිරිසකට භාවනා කටයුතු සඳහා මග පෙන්වූ සේක. උන්වහන්සේ ගේ ස්වයං ලිඛිත චාරිතපාදනය කියවන විට තම අධ්‍යාත්මික අරමුණු වෙනුවෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලද කැපවීමේ ප්‍රමාණය වටහා ගත හැකිය. ඒ විස්තරයට අනුව උන්වහන්සේ භාවනා කිරීම අරඹන්නේ වයස 15 දී පමණය. පළමුවෙන්ම වැඩු භාවනාව වන්නේ මෛත්‍රී භාවනාවයි. ඒ පිලිබඳ උන්වහන්සේගේ චාරිතාපදනයේ එන සටහන මෙසේයි.

“ඔය කාලයේ අතුලවංස කියන ස්වාමින් වහන්සේ ලියපු මෛත්‍රී භාවනා පොතක් ලැබුණා. දස දිශාවට, සියලු සත්ව කොට්ඨාෂවලට මෛත්‍රී කරන හැටි එකේ විස්තර කරලා තිබුණා... වයස 15 වෙත් දී බද්ද පර්යංකයෙන් ඉන්න පුරුදු වුණ මම හැම රාත්‍රියකම ඇඳේ වාඩි වෙලා අර පොතේ තිබුණු විදියට දස දිශාවට, සියලු සත්ව කොට්ඨාෂවෙතට මෛත්‍රිය වඩනවා. විනාඩි 10-15 යනකොට මට දැනෙන්නේ අහසේ ඉන්නව වගේ. හොඳට නින්ද යනවා. පහුවදා හරිම ප්‍රීතිමත්ව ගත කරනවා.”

දියවන්නා වගුරුබිම් පෙදෙසේ වසන සියළු ජිවින්ටම මරබිය ඇති කරමින් මහත් පිඩාවක් ගෙනදෙමින් ද අර්ථ ශුන්‍ය විශාල ධන හානියක් කරමින් ද පෙර කී ‘ගුවනින් මල් හෙලීමේ මහා පූජාව’ සිදු කරන ලද්දේ මෙකී සරල, භාවනායෝගී ජිවිතයක් ගත කළ අරණ්‍යවාසි භික්ෂූන් වහන්සේට ගරු කිරීම සඳහාය.

මේ සිදුවීමෙන් මතුකෙරෙන පණිවුඩය පොදුවේ බොහෝ ආගමික ශාස්තෘන් වහන්සේලා සම්බන්ධයෙන් ද අදාල වේ. එනම් ශාස්තෘන් වහන්සේ ජිවිත කාලයක් මහන්සි වී සමාජගතකරන්නට හදන පණිවුඩය උන්වහන්සේගේ ආදාහනය සිදුවන්නටත් පෙරම බොහෝවිට උන්වහන්සේට ගරු කරන්නන් අතින්ම සම්පුර්ණයෙන්ම කණපිට පෙරලෙන බව ය. එසේ කරන්නේම ශාස්තෘවරයාට දක්වන ගෞරවයක ස්වරූපයෙනි.

බුදුන් වහන්සේ ට ගෞරව කිරීමට යයි පවසමින් අලි ඇතුන් දම්වැලින් බැඳ පෙරහැරවල් පවත්වමින් ද ලක්ෂ ගණනින් මල් කඩා එක එක තැන ගොඩකරමින් ද තවත් බොහෝ ආකාරවලින් ද කරන පුද පූජා අයත්වන්නේ නා උයනේ අරිධම්ම හිමියන්ට ගෞරව පිණිස ගුවනින් මල් හෙලීම වැනිම පින්කම් ගණයටය.

(මෙම ලිපිය 2018.01.19 සිකුරාදා 'රැස' පුවත් පතේ 14 පිටුවේ 'සති' විශේෂාංගය යටතේ පළවිය: http://epaper.resa.lk/?id=14&tday=2018/01/19)





Saturday, January 13

කාන්තාව පිළිබඳ සමාජ අදහස් ගොඩනැංවීම

කාන්තාවන්ට එරෙහි හිංසාවාදී අදහස්  සමාජ ගත වීම කෙරෙහි බෞද්ධ සංස්කෘතික භාවිතයන් බලපාන්නේ ද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මේ  සාකච්ඡාව මා ජීවිතයේ අත්දු‍ටු අත්දැකීම් කිහිපයක් ඔස්සේ අරඹන්නට උත්සාහ කරමි.
  
දිනක් මම බත්තරමුල්ලෙන් බසයට නැග බො‍රැල්ල වෙත යන්නට පිටත් වීමි. හැම අසුනක්ම පිරී පැවති නමුත් මා සිටි අසුනේ තව කෙනෙකුට හිඳ ගැනීමට ඉඩ තිබුණේය. ඇතුල්කෝට්ටේ බස් නැවතුමෙන් වැඩිහිටි කාන්තාවක් ඉදිරි පස දොරෙන් බසයට ගොඩ වුණාය. ආසනයක් නොලැබුණු බැවින් ඇය දිගටම හිටගෙන ගමන් කරන්නට විය. මා හිඳගෙන සිටි අසුනේ තව කෙනෙකුට හිඳගෙන යාමට ඉඩ තිබුණු බැවින් මම ඇයට එහි හිඳ ගැනීමට ආරාධනා කළෙමි. ඇය වහා බසයේ පි‍ටුපසට ගියා මිස මා හිඳගෙන සිටි ආසනයේ හිඳගත්තේ නැත. පිටුපස ආසනයක සිටි වෙනත් පිරිමි අයෙකු මේ අවස්ථාවේ දී නැගිට ඇයට හිඳ ගැනීමට ආසනය පිරි නැමූ අතර ඇය එහි හිඳ ගත්තාය. පෙරකී පිරිමියා ඉන්පසුව ඉදිරියට පැමිණ මා සිටි අසුනෙහි හිඳගත්තේය.

මේ සිදුවීම මා තුළ මහත් කම්පනයක් ඇති කළේය. ඇය මගේ මවටත් වඩා වයෝවෘද්ධ කාන්තාවකි. මම අවිහිංසාව හා කරුණාව වෙනුවෙන් පෙනී සිටින භික්ෂුවක්මි. උපත මත කිසිවෙකු උසස් හෝ පහත් යැයි නොසලකන දහමක පණිවුඩ කරුවෙක්මි. මෙම වයෝවෘධ කාන්තාවට මා සමග එකට හිඳගන්න බැරි ඇයි? ඇය මා සිටි අසුනෙහි හිඳගෙන ගමන් කළා කියා සිදුවන වරද කුමක් ද? අනෙක් අතට පිරිමියෙකුට මා සමග බසයේ හිඳගෙන යාම හොඳ වෙත් දී කාන්තාවකට එසේ හිඳගෙන යාම අකැප වන්නේ කෙසේ ද? කාන්තාව පිරිමියාට වඩා පහත් ද? අපවිසින් පවත්වාගෙන යන මෙම සම්බන්ධතා ව්‍යූහය කාන්තාව දෙවැනි මට්ටමේ කෙනෙකුය යන අදහස සමාජගත කරන්නට උදව් වන්නේ නැත් ද?

මෙයටම අදාළ තවත් අත්දැකීමකට ලඟදී මුහුණදෙන්නට සිදුවිය. ඒ ප්‍රංශයේ සිට පැමිණි හිතවත් දෙදෙනෙකු ද සමග පාර්ලිමේන්තු පාරේ ඇවිදින්නට ගිය ගමනක දීය. අප දියත උයන දෙසට ඇවිදගෙන ගියෙමු. එසේ යනවිට භාවනා මධ්‍යස්ථානයකට හැරෙන හන්දිය වෙත අපි පිවිසියෙමු. අප අතර සිටි කාන්තාව භාවනා මධ්‍යස්ථානය බලන්නට කැමති බව ප්‍රකාශකර සිටියාය. එහෙයින් අපි භාවනා මධ්‍යස්ථානය දෙසට ගමන් ඇරඹීමු. මදක් ඉදිරියට යනවිට හමු වූ දැන්වීම් පුවරුවේ මෙසේ සඳහන්වී තිබුණේය.
කළු සහ වර්ණවත් විවිධ විලාසිතාවන්ගෙන් සැරසුණු කාන්තාවන් භාවනා ස්ථානයට පැමිණීමෙන් වළකින්න

මේ දැන්වීම් පුවරුවට අනුව විවිධ විලාසිතාවන්ගෙන් සැරසුණු පිරිමින්ට එහි ඇතුළුවීමට බාධාවක් නැත.  ප්‍රශ්නය වන්නේ කාන්තාවන් එසේ  ඇතුළු වුවහොත් පමණය. අනෙක් ගැටළුව වන්නේ විවිධ විලාසිතා යන්නෙන් අදහස්වන්නේ කුමක් දැයි පැහැදිලි නොවීමයි. යමක් විලාසිතාවක් හෝ විලාසිතාවක් නොවේ යැයි වර්ගකරන්නේ කෙසේ ද? ළමා සාරිය වුව විලාසිතාවක් ලෙස හැඳින්විය හැකිය.

අප සමග සිටි කාන්තාව ඇවිදීමට පහසුවන නිදහස් දිග කලිසමකින් සැරසී සිටියාය. එය කළු පැහැ එකක්විය. මෙම දැන්වීමට අනුව අප සමග සිටි කාන්තාවට භාවනා මධ්‍යස්ථානයට අතුළු විය නොහැකිය.
පිරිමින්ගේ ඇඳුම ගැන කිසි සඳහනක් නැති, කාන්තාවගේ ඇඳුම ගැන පමණක් තහංචි පනවා තිබූ එම ආයතනයට අතුළු නොවී අපි නැවත පැමිණියෙමු. 

මේවාට අමතරව කාන්තාව සම්බන්ධ සමාජ ආකල්ප සකසන ප්‍රධාන අවස්ථාවක් වන්නේ ධර්ම දේශනා අවස්ථායි. අම්මා බුදුන්ට සමාන කෙරෙන දේශනාව අතරම ගැහැණියගේ අඳුමේ සංවරය බොහෝ දේශනාවල ප්‍රමුඛ මාතෘකාවක් වෙයි. කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට වගකිව යුත්තේ කාන්තාවන්මය යන අදහස සමාජගත කරන මෙවැනි ඇතැම් දේශකයින් රටෙහි ඉතාම ජනප්‍රියය. තමන් දෙවෙනි පන්තියට හෙලමින්, උපහාසයට හා හිනාවට ලක්කරමින් කෙරෙන එවන් අයගේ දේශනා සිනාසෙමින් අසා සිටීමට තරම් අප සමාජයේ ඇතැම් කාන්තාවන් නොදැනුවත් වීම කණගාටු දායකය.

මේ සියල්ල දෙස බලන විට මතුවන පැනය වන්නේ කාන්තාව සම්බන්ධ මෙබඳු ආකල්ප සමාජගත කිරීමට බෞද්ධ ඉගැන්වීම් වලින් කිසියම් අනුබලයක් ලැබේ ද යන්නය. බුදුදහමේ එන අවිහිංසා මූලධර්මයේ පිහිටා කටයුතු කරන කිසිවෙකුට මෙසේ කාන්තාව පහත හෙලා කටයුතු කළ නොහැකිය.  එහෙයින් එය බෞද්ධ විරෝධීය. අනෙක් අතට ආගමික අදහසකින් තොරව බැලුව ද එය අතිශය අශිස්ටය.

‘ගැහැණිය අඳින ඇඳුමේ ස්වරූපය ඇයට එරෙහි හිංසනයේ මූලය’යි යන අදහස බුදු දහමට අනුව එකඟ ද?

‘සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ - නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ’ 
(බාහිර) ලෝකයේ කාමය අවුස්සන දේවල්ය කියා කිසිවක් නැත. කාමය ඇත්තේ එය දෙස බලන්නා තුළය.

මේ ඉගැන්වීමට අනුව හැකි හැම ආකාරයකින්ම බලපෑම් කරමින් කාන්තාව විශේෂකොට ඇඳුම් වලින් වසා තැබීමට යම් සමාජයක් උත්සාහ දරන්නේ නම් එය එම සමාජයේ බලවත් පිරිහීමක් පිළිබිඹු කරයි. එහෙයින් සිදුකළ යුත්තේ කාන්තාව තවතවත් විශේෂකොට වසා තැබීමට උත්සාහ දැරීම නොවේ. මේ සම්බන්ධ සාකච්ඡාව ගැඹුරු කරමින් අවබෝධය වැඩිකිරීමට කටයුතු කිරීමය. හැමට සමාන ගෞරව ලැබීමට ඇති අයිතිය පිළිගන්නා තත්ත්වයක් ඇති කිරීමට සාමුහිකව ප්‍රයත්න දැරීමය. මනුෂ්‍යත්වය තවතවත් මතුකරන අධ්‍යාපන ක්‍රියාවලියක් ගොඩනැගීමය.

(මෙම ලිපය සංස්කරණ සහිතව රැස පුවත්පතේ පළ විය: