දැන් මම මේ දාගෙන ඉන්න සෙරෙප්පු දෙක තියෙනවා නේද?
එයින් එකක් ඇවිල්ල දවස් පහකට පස්සෙයි අනිත් එක ආවෙ!”
අගෝස්තු 22 පාන්දර ඉඳලා 25 රාත්‍රී වනතුරු මම නැවතී සිටියේ යාපනයේ අල්ලෙයිපිඩ්ඩි ගමේ තිබෙන 'තපෝවනම්' නම් ආශ්‍රමයේ. කලපුවට මායිම්ව පිහිටා ඇති නිසා පිහිටීමෙන්ම එය හිත නිවන සුළු තැනක්. එය පවත්වාගෙන යන්නේ යාපනය විශ්වවිද්‍යලයේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය දයා සෝමසුන්දරම්.
21 රාතී 10.30 ට වැල්ලවත්තෙන් ආරම්භවුණු රත්න ටුවර්ස් බසයෙන් යාපනයට ළඟා වෙනකොට උදේ 5.30 විතර වුණා. තපෝවනම් හි භාවිතයට කෙනෙකු විසින් පරිත්‍යාග කර ඇති ත්‍රිරෝද රථයෙන් මරියදාස් ඇවිත් හිටියා මාව එක්ක යන්න. තපෝවනම් හි සේවය කරන මරියදාස්ට සිංහල කතා කරන්න පුළුවන්. එයා මඩකලපුවේ කෙනෙක්.
ගොඩබිමින් මණ්ඩතිව් දූපත හරහා කයිට්ස් වෙත ඇතුළු වී අල්ලෙයිපිඩ්ඩි වෙත ළඟා වෙන්න විනාඩි 30ක් විතර ගත වුණා. පොල් ගස් වලින් පිරුණු කලපුවට සමාන්තරව දිවෙන ඉඩම් තීරුවක ඇති තපෝවනම් වෙත ඇතුළුවන ලී ගේට්ටුව විවෘත කළේ අපි එනතෙක් එතැන රැඳී සිටි උඩුකයට කිසිවක් හැඳ නොසිටි, දනහිස තෙක් කෙටි සරමක් හැඳ සිටි අවුරුදු 75 ක විතර වැඩිහිටි කෙනෙක්. මම මරියදාස් ගෙන් ඇහුවා ඒ කව්ද කියලා.
“ඒ තමයි සෝමසුන්දරම් මහත්තයා”.
තපෝවනම් තුළ ගොඩනැගිලි ගොඩක් නෑ. තැනින් තැන තල් කොල හෙවිලි කරපු කුඩා විවෘත පැල් කීපයක් තිබුණා. එහි ඇති කුඩා ශාලාවත් ඉදිකර තිබුණේ ඒ ආකාරයටමයි. ශාලාව තුළ හිඳගන්න පිට-ලෑලි සවි කළ බංකු තිබුණා.
එහි තිබුණු එකම කොන්ක්‍රීට් ගොඩනැගිල්ල එක කාමරයක් පමණක් ඇති තට්ටු දෙකක ගොඩනැගිල්ලක්. ඒක ඉදිකරල තියෙන්නේ මේ ඉඩම නාවික හමුදා කඳවුරක්ව පැවති කාලයේ එහි සිටි අනදෙන නිලධාරියාට වාසය කරන්න. සෝමසුන්දරම් මහත්තයා රෑට නිදන්නේ මේ ගොඩනැගිල්ලෙ ඉහලින්ම ඇති කොන්ක්‍රීට් ස්ලැබ් (Terrace) එකේ. කොන්ක්‍රීට් ස්ලැබ් එක මත ඇලේට සවි කරපු තල් කොල හෙවිලි කරපු පොඩි වහලයකින් තිබුණා. ඒත් වැස්සක් ආවොත් ඒ වහලය මදි ආවරණය වෙලා රාත්‍රිය ගත කරන්න.
සෝමසුන්දරම් මහත්තයා බොහෝ දුරට දවසකට ආහාර ගන්නෙ එක වේලයි. උදෙන් නැගිටින ඔහු යෝග ව්‍යයාම් කරනවා. දවසේ වැඩ ඉවර කරල හවස තුනට කලපුවේ පීනන්න යනවා. අඩුම තරමෙ පැය දෙකක් වත් දවසකට ඔහු කලපුවේ පිහිනනවා.
මේ වෙනකොට යාපනය මහ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වන්නේ සෝමසුන්දරම් මහත්තයගෙ ශිෂ්‍යයෙකු වන එස්. සිවදාස් මහතායි. ඔහු ඇතැම් දිනවල හවසට තමන්ගෙන් මනෝවෛද්‍ය විද්‍යව හදාරන යාපනය වෛද්‍ය පීඨයේ විද්‍යර්ථින් එක්ක තපෝවනම් වෙත එනවා. ඒක ගුරු ශිෂ්‍ය පරම්පරා තුනක් එකට එකතුවන එය හරිම ලස්සන දසුනක්.
ගියපු දවසේම හවස තුනට විතර වෛද්‍ය එස්. සිවදාස් එහෙම විද්‍යර්ථින් පිරිසක් එක්ක තපෝවනම් වෙත ආවා. මම හිටියේ විවෘත පැලක බූරු ඇඳක් දාගෙන. ඒ අය කෙලින්ම මම ඉන්න තැනට ආවා. සිංහල, දෙමළ සහ මුස්ලිම් ළමයි ඔක්කොම එකට. හරිම ලස්සනයි. ඒ අය ගොඩක් උනන්දු වුණා සතිමත් බව ගැන. ඒ සම්බන්ධ අභ්‍යස විධි ගැන.
තපෝවනම් ආයතනයේ ඇත්තටම මොනව ද කෙරෙන්නේ?
ඒක තමයි වැදගත් ම. අල්ලෙයිපිඩ්ඩි කියන්නෙ යුද්ධය ඍජුවම බලපෑ ධීවර ගම්මානයක්. අවස්ථා කිහිපයකම එහි වැසියන්ට ගම හැර යන්න වෙනවා. කලක් ඔවුන් වන්නියේ ජීවත් වෙලා නැවත ආව අය. ඒ ගමේ අද තත්වය යුද්ධයක් විසින් ජනසමාජයකට කරන දිගුකාලීන හානියට හොඳම නිදසුනක්. ඒ ගමේ පිරිමි හැම කෙනෙක්ම වගේ මත්පැන් වලට තදින්ම ඇබ්බැහිවෙලා. මත් කුඩු සහ අයිස් කියන්නෙත් ඒ පලාතෙ සුලබ දේවල්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මේ ගමේ ඉතාම ඉහලයි. ඒ නිසාම පවුල් අවුල්. පිරිමි තම පවුල් අතහැරල දාල ගියපු අවස්ථා සුලබයි. මේ නපුරු වට පිටාවෙ වඩාත් පීඩාවට පත්වන්නෙ දරුවො. ඇතැම් තැනක දරුවො රෑට ගෙදර නොඉඳ ආච්චි සීයගෙ ගෙවල් වලට යනවලු රෑට ගෙදර රණ්ඩු නිසා. ඒක කිව්වෙත් සෝමසුන්දරම් මහත්තයා.
තපෝවනම් මැදිහත්වෙන්න උත්සාහ කරන්නේ මෙහෙම වටපිටාවක හැදෙන දරුවන්ගේ මොලයේ නියුරෝන මාවත් (Neuron Pathways) සකස්වන ක්‍රියාවලියට යහපත් විදිහට මැදිහත් වෙන්න. ඒ කියන්නේ දැනට ඒ ලමයින්ගේ මොලයේ නියුරෝන මාවත් සැකසෙන්නේ බීමත් වීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් හැටියට. ඒ විතරක් නෙවෙයි, නොබොන එක පිරිමි කමට ලැජ්ජාවක් හැටියට; බිරිඳට ගුටි බැට දෙන්නෙ නැත්නම් ඒක දුර්වල පිරිමි කමක් හැටියට. ඊට වෙනස් ආකාරයකට නියුරෝන මාවත් සැකසෙන්න ඒ ළමයින්ට ආදර්ශ නෑ.
සෝමසුන්දරම් මහත්තයා ඇතුළු පිරිස ගමේ ළමයින් නිවාඩු දවස්වල තපෝවනම් වෙත ගෙන්න ගෙන, වේදිකා නාට්‍ය, නැටුම්, සංගීතය, චිත්‍ර ඇඳීම, කරාටේ ක්‍රීඩාව, පිහිනීම සහ වැල්ලේ මූර්ති නිර්මාණය වැනි දේ කරන්නත් ඒව රසවිඳින්නත් මග පෙන්වනවා. නාට්‍යවල එන චරිත ඔක්කොම සතුන්. නමුත් ඒ කතාවල සාකච්ඡා වෙන්නෙ ඒ ගමේ පවුල්වල තියෙන ප්‍රශ්න සහ සමාජ ප්‍රශ්න. මේ වගේ ක්‍රියාකාරකම් ඔස්සේ ගෙදර දී නොලැබෙන අත්දැකීම් ප්‍රමාණයක් තපෝවනම් වෙතින් ළමයින්ට ලැබෙනවා. ඒ හැර විභාග ඉලක්ක කරපු කිසිවක් මෙහි උගන්වන්නේ නෑ.
ඒ ඒ වැඩසටහන් කරන්න සම්පත් පුද්ගලයො යාපනයෙන් ගෙන්න ගන්නවා. මම ඇහින් දැක්කා ඒ ළමයි කොච්චර දක්ෂ ද කියන එක සහ කොයි තරම් උනන්දුවකින් දරුවෝ ඒවට සහභාගී වෙනව ද කියන එක.
මෙහෙම එන ළමයින්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් දෙනවා තපෝවනම් වෙතින්. සමහරවිට මේ ළමයි තපෝවනම් වෙත එන්න උනන්දුවෙන තවත් හේතුවක් වෙනවා ඇත්තේ මේ පෝෂ්‍යදායී ආහාර වේල.
ඒ කෑම උයන්නේ මරියදාස් සහ ඔහුගේ බිරිඳ තමිළ් සෙල්වී. තමිල් සෙල්වි මන්නාරමේ කෙනෙක්. එයාගෙ තාත්තා දෙමළ ජනයාට වෙනම රටක් වෙනුවෙන් සහය දුන්නු කෙනෙක් නිසා හැම දරුවෙකුටම නම දාල තියෙන්නෙ ‘තමිළ්’ කියන මුල් කැල්ලත් එක්ක. ඒ නිසයි සෙල්වි ‘තමිළ්’ සෙල්වි වෙලා තියෙන්නෙ.
මම එහෙට ගියපු 22 දාත් ළමයි 50ක් විතර ආවා වැඩසටහන්වලට සහභාගී වෙන්න. මම තපෝවනම් ආයතනයට අලුත් නිසා කුස්සි පාටියේ වැඩ කරන්න අවස්ථාව ඉල්ලා ගත්තා. සෙල්වි, මරියදාස් සහ තවත් ගමේ ගැහැනු අයත් එක්ක මමත් වැඩ කළා. මම කළේ ලොකු ලූනු ගෙඩි 40ක් විතර සුද්ධ කරල ලියල දෙන එක, තක්කාලි සම්බෝලයක් හදන්න.
ළමයින් සඳහා කෙරෙන මේ ඔක්කොම කරන්න මුදල් සොයා ගන්නේ පරිත්‍යාගශීලීන් ගෙන්. මේ කියවන ඔබටත් පුළුවන් මේ වටිනා වැඩේට දායක වෙන්න. අවශ්‍ය විස්තර ලිපිය අග දක්වලා තියෙනවා.
වෛද්‍ය එස්. සිවදාස් මහතා පහුවදාත් ආවා. ඔහුට ලොකු උනන්දුවක් තිබුණා සතිමත් බව ගැන තවත් ටිකක් ගැඹුරින් දැනගන්න සහ අභ්‍යාස කරන්න. මම නැවතිලා හිටිය කුටිය ඉදිරියේ ඉඳගෙන අපි දෙන්නම ආනාපාන සතිය වැඩුවා. අවසානයේ පහුවදා යාපනය රෝහලේ දී හමුවීමට කතා කරගෙන එතුමා පිටත්ව ගියා.
පහුවදා යාපනය රෝහලේ වෛද්‍ය සිවදාස් මහතාගෙ කාමරයේ දී අපි හමුවුණා. මනෝවෛද්‍ය විද්‍යව හදාරණ පළමු වසර ශිෂ්‍ය කණ්ඩායමක් වෙනුවෙන්, මම කලින් දා සිදුකළ සතිමත් බව පවත්වා ගැනීම පිළිබඳ අභ්‍යාසයම කරන ලෙස එතුමා ඉල්ලා සිටියා. දෙමළ, මුස්ලිම් සහ සිංහල යන සියලු ජාතීන්ට අයත් වෛද්‍යපීඨ විද්‍යර්ථීන් පිරිසක් වෙනුවෙන් මම නැවත සතිය පිහිටුවා ගැනීම ගැන විනාඩි 20ක විතර වැඩසටහනක් සිදු කළා.
තපෝවනම් භූමියේ හාරපු පොකුනක නෙළුම් බීජ හිටෙව්වේ මම එහි ඉද්දි. ඒ බීජ අරගෙන ආවේ 'පුනරුත්තාපනය' කෙරුණු හිටපු එල්ටීටී සාමාජිකයෙක්. සෝමසුන්දරම් මහත්තයා කියපු විදිහට ඒ තැනැත්තා ‘පශ්චාත් කම්පන ආතති තත්වයෙන් (PTSD) පෙළෙන කෙනෙක්. ඒ කියන්නෙ සමහර දාට රෑ නින්ද්දි යුද බිමේ ඉන්නව වගේ දැනිල අවදි වෙලා කලබලයෙන් ඇඳයට හැංගෙන්න හදන එක, නැත්නම් කලබල වෙලා කෑකෝ ගහන එක වගේ දේවල්. මේක යුද්ධයට සම්බන්ධ වුණු හමුදාවෙ යුද සෙබලුන් අතරත් ඕන තරම් ඇති. ඒව දන්නව ඇත්තේ ඒ පවුල්වල අය විතරයි.
සෝමසුන්දරම් මහත්තයා නෙලුම් බීජ හිටවද්දි මට කිව්වා මොනව හරි ආගමික පාඨයක් සජ්ඣායනා කරන්න කියල. ඉතිං මම ඉවුරෙ ඉඳගෙන කරණීය මෙත්ත සූත්‍රයේ ගාථා හෙමින් තාලයකට කිව්වා. ඒක වෙනද පිරිත් කියනවට වඩා වෙනස් අත්දැකීමක්. ඒක මටත් හරිම සුවයක් දැනුණු මොහොතක්.
25 වෙනිදා රෑ 9ට කොළඹ බලා පිටත් වෙන බස් එකට එන්න 8 ට විතර මම තපෝවනම් වෙතින් පිටත් වෙන්න සූදානම් වෙලා මරියදාස් සහ සෙල්වි ජීවත්වෙන පොඩි ගොඩනැගිල්ල ළඟට ගියා. වැලි සහිත පොළොවෙ හිටගෙන හිටපු මගෙන් ඒ ගොඩනැගිල්ලෙ පඩියට ගොඩවෙන්න කියල මරියදාස් ඉල්ලා හිටියා. පොඩි විමතියකින් වුණත් මම ඒ ඉල්ලීම ඉටු කළා. මරියදාස් දනගහලා මට වැන්දා. ඉන්පස්සෙ සෙල්විත් ඒ ආකාරයටම මට දනගහලා වැන්දා. ඇත්තටම මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඒ හැසිරීම මාව පුදුමයට පත් කළා.
රෑ 8.10 ට විතර සෝමසුන්දරම් මහත්තයගෙන් සහ සෙල්විගෙන් සමුගෙන මරියදාස් එක්ක යාපනය බස් නැවතුම බලා පිටත් වුණා.
මේ කාලය පුරාම, මට හමු වූ දරුවන්ගේ සිට වැඩිහිටි සහ මහළු අය දක්වා හැම දෙනාගෙන්ම ලැබුණු ආදරය, පිලිගැනීම ඉතාම ඉහලයි. එය හිතට ගෙන දුන්නේ විශාල සතුටක්.
ඊට වෙනස් වුණු එකම අත්දැකීමට මුහුන දුන්නේ තෙලිප්පලෙයි දී. තෙලිප්පලෙයි කියන්නෙ යාපනේ ඉඳල කන්කසන්තුරේ පැත්තට කිලෝ මීටර් පහළොවක් විතර ගියාම හමුවන නගරයක්. එතැන ඉඳලා කන්කසන්තුරේට තියෙන්නේ කිලෝ මීටර් තුනහමාරක් විතර. මම 25 වෙනිදා දවල් එහි ගියේ චෙල්වනායගම් අනුස්මරණ භාරයේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවෙන්න. ඔවුන් දුන් මගපෙන්වීම අනුව තනිව ත්‍රිරෝද රථයකින් ගොස් තෙලිප්පලෙයි හන්දියෙන් බැසගත් මම අදාළ ස්ථානය සොයාගැනීමට උත්සාහ කළා. එහි දී කඩවල සිටි මිනිසුන්ගේ ද, මහමග යන එන මිනිසුන්ගේ ද මුහුනුවල ලියැවී තිබුණේ දැඩි නොරිස්සුම් බවක්, නොකැමත්තක්, ප්‍රතික්ෂේප කිරීමක්. කිසිම කෙනෙක් මට සිනාවකින් ප්‍රතිචාර දැක්වූයේ නෑ. අවසානයේ චෙල්වනායගම් අනුස්මරණ භාරයේ කෙනෙකු පාරට පැමිණ මාව අදාළ තැන වෙත කැඳවාගෙන ගියා. හමුවෙන්නට ගිය පිරිස සමග සාකච්ඡාවෙ දි මම පාරෙදි මුහුන දුන් අත්දැකීම විස්තර කළා. ඔවුන්ගේ පිළිතුර වුණේ “ඔව්, ඔබ පිටත්ව ගිය පසු අපිටත් සිදුවෙයි, මිනිස්සු අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න” කියායි. ඔවුන් කී පරිදි තෙලිප්පලෙයි හී දී මිනිසුන්ගෙන් එබඳු ප්‍රතිචාරයක් ලැබෙන්නට එකම හේතුව තෙලිප්පලෙයි සිට කිලෝ මීටර් හතරක් විතර දුරින් ‘තිස්ස රජමහා විහාරය’ නමින් පවත්වාගෙන යන පංසලයි. එකී පංසල නිසා කංකසන්තුරේ මිනිසුන් භික්ෂූන් දෙස බලන්නේ ඉඩම් බලහත්කායෙන් අත්පත් කරගන්නට එන පිරිසක් ලෙසයි. ඒක පුදුම අවාසනාවක්.
තෙලිප්පලෙයි නගරයේ අත්දැකීම හැර යාපනයේ ගතකළ දින කිහිපය මට විශාල සුවපත් වීමක් ගෙනදුන් අත්දැකීමක්. මුනිවරයෙකු වන් සෝමසුන්දරම් මහතාගේ ඇසුර, අල්ලෙයිපිඩ්ඩි ගමේ දරුවන්ගෙන් ලැබුණු ළෙන්ගතු පිලිගැනීම, සිවදාස් වෛද්‍යවරයා සහ ඔහුගේ සිසුසිසුවියන්, මරියදාස් සහ සෙල්විගේ ආගන්තුක සත්කාර, වැඩසටහන් කිරීමට පැමිණි යාපනයේ නාට්‍යකරුවන්, නැටුම් ශිල්පීන්, සංගීත ශිල්පීන් වැනි අය හමුවීම, කලපුව අසල පැවති නිතර සිසිල් සුලං හමන දේසගුනය සහ දවසකට පැයක් විතර කලපු වතුරේ රැඳෙමින්, පිහිනමින් ජීවිතය සැහැල්ලුවෙන් මෙනෙහි කරන්නට ලැබුණු අවස්ථාව මාව විශාල වසයෙන් සුවපත් කළා.
ඒ නිසා ආපහු කොළඹ එන්න බස් එකට නැංගෙ විශාල සැහැල්ලු හිතකින්.
මේ මගේ අත්දැකීම යාපනයේ පෙර කී පංසල හැදූ හමුදා නිලධාරීනුත්, එහි දැන් වසන භික්ෂූන් වහන්සේත්, පොහෝ දිනවලට එහි සිල් ගන්න කොළඹ සිට යන ‘උපාසක’ ‘උපාසිකාවනුත්’ කියවනව නම් මම හරි සතුටුයි.
‘අල්ලගන්න හදන තරමට අහිමි වෙනවා - අත්හරිනකොට ලෝකයක් හිමි වෙනවා’
මේ කියවපු ඔබ තපෝවනම් පවත්වගෙන යන්න උදව් කරන්න කැමතිනම්:
THAPOVANAM YOGA AND MEDITATION CENTRE
Current account No: 1000769751
Commercial Bank, Velanai, Sri Lanka.
Swift Code: CCEYLKLX







