Friday, January 26

වල්පොළ රාහුල හාමුදුරුවන් සමග පිරිත් ඇසීමි

අද ලිපියෙන් මා උත්සාහ කරන්නේ වල්පොළ රහුල හාමුදුරුවන් සමග එකට ජීවත්වීමෙන් ලද අත්දැකීමක් ඔබ සමග බෙදාගන්නයි. එයට පෙර මා කැමතියි වල්පොළ රාහුල හාමුදුරුවන් කවුරුන්දැයි මදක් හඳුන්වා දෙන්න.

වල්පොළ රාහුල හාමුදුරුවො ඉපදෙන්නෙ 1907  අවුරුද්දෙ, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයෙ.  පුද්ගලික ගුරුවරුන් යටතේ ඉතා මහන්සියෙන් අධ්‍යාපනය ලබන රාහුල හාමුදුරුවෝ ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ පළමු භික්ෂුන් වහන්සේයි. ඒ 1931 දී. භික්ෂුවක් විශ්වවිද්‍යාලයට නොයායුතු යැයි විරෝධතා මතුවෙත් දී රාහුල හාමුදුරුවන්ගේ ගමනට සහය ලැබෙන්නේ සමාජයේ සුළු පිරිසකගෙන් පමණයි. ඒ අතරින් විශේෂයි සරවනමුත්තු තංගරාජා මහතා. විශ්වවිද්‍යාලයට ගාස්තු ගෙවිය යුතු එම සමයේ රාහුල හාමුදුරුවන්ගේ සියලු අධ්‍යාපන වියදම් දරන ලද්දේ තංගරාජා මහතා විසිනි. 

පසුගිය සියවසේ බිහි වූ විශිෂ්ටතම බෞද්ධ පඬිවරයෙකු වූ රාහුල හිමියන් ගොඩනගන්නට වැඩිම දායකත්වයක් දරා ඇත්තේ දෙමළ බස තම මව් භාෂාව කරගත් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයෙකු වීම ඉතිහාසයේ විශේෂයෙන් සඳහන් විය යුතු කරුණකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සම්පුර්ණ කළ රාහුල හිමියෝ ලක්දිව බුදුසමයේ ඉතිහාසය නමින් පසුව ප්‍රකාශයට පත් වුණු පර්යේෂණ කෘතිය ඉදිරිපත් කරමින් අචාර්ය උපාධිය ද ලබා ගත්තේය.

රාහුල හිමියන් ගේ විවිධ අත විහිදුණු විශාල කාර්ය භාරය අතර විශේෂයෙන් කැපී පෙනෙන අංශයක් වන්නේ බෞද්ධ සමාජයට විචාරශීලිත්වය හඳුන්වා දීමට ගන්නා ලද උත්සාහයයි. අද පොතක් ලෙස ලබා ගත හැකි ‘සත්‍යෝදය’ නම් කෘතිය තුළ අන්තර්ගත වන්නේ උන්වහන්සේ මේ ඉලක්කය සාධනය කරගැනීම සඳහා 1930 දශකයේ දී කරන ලද දේශනාවල එකතුවයි. බෞද්ධ නාමයෙන් කෙරෙන නිරර්ථක පුදපූජා, කුල ක්‍රමය සමාජයේ පවත්වා ගැනීමට බෞද්ධ භික්ෂු සංස්ථාවම දායක වීම, ලාභ ලැබීමේ අරමුණෙන් ආගම භාවිතා කිරීම ආදිය උන්වහන්සේ මෙම දේශනා හා පත්‍රිකා ඔස්සේ ප්‍රශ්න කළේය. උන්වහන්සේ එදා ගත් උත්සාහය සාර්ථක විණි නම් අද බෞද්ධ සමාජය ලංකාවේ වඩාත්ම දියුණු ලෙස සිතන ජන සමාජය වීමට ඉඩ තිබුණු අතර එය පොදුවේ ශ්‍රී ලාංකේය ජන සමාජය ඉදිරියට ගෙන යන ආලෝකය වීමට ද ඉඩ තිබුණි.

රාහුල හිමියෝ උන්වහන්සේ ගේ ජිවිතයේ අවසාන කාලයේ වැඩසිටියේ දියවන්නා ඔය අසල පිහිටි අද ‘වල්පොළ රාහුල ආයතනය’ ලෙස හැඳින්වෙන ආයතනයේයි. එවක මම විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍ය භික්ෂුවක් වීමි. රාහුල හිමියෝ සෑම දිනෙකම හවස පහට පමණ ආයතනය ඉදිරිපස පිහිටි කොරිඩෝවේ හාන්සිපුටුවක හිඳගන්නා අතර මම ඒ අසල වූ බැම්මෙහි හිඳගනිමි. එතැන් සිට රාත්‍රී 8 පමණ වනතුරු සිදුවන සාකච්ඡාව ඉතාම ප්‍රියජනක, හරවත් හා රසවත් සාකච්ඡාවක්ම විය. එසේ සාකච්ඡා වුණු කරුණු පදනම් කරගෙන ලිපි පෙළක්ම වුව ලිවිය හැකිය.

මෙසේ සිදුවන අපගේ සාකච්ඡාව අතරමග නවතන්නට වන සිදුවීමක් හැමදාම සිදුවෙයි. ඒ දියවන්නාවේ අනෙක් පස පිහිටි විහාරස්ථානයේ පිරිත් ප්‍රචාරය කෙරෙන අවස්ථාවයි. සෑම දිනකම සවස 6.00 සිට 6.30 දක්වා ශබ්දවාහිනී යන්ත්‍රයක් මගින් පිරිත් ප්‍රචාරය කිරීම ඇරඹෙන අතර ඒ සමගම කලින් කතා කරගත්තාක් මෙන් අප අතර සිදුවෙමින් පවතින සාකච්ඡාව ඉබේම නවතියි. නැවත අප අතර සාකච්ඡාව ඇරඹෙන්නේ පිරිත් අවසන් වුවාට පසුවය.

මම සිතා සිටියේ රාහුල හාමුදුරුවෝ පිරිත් ශ්‍රවනය කිරීම සඳහා නිහඬ වෙනවා කියාය. යකඩ කටින් මුළු පළාතටම ඇසෙන පරිදි මහා හඬින් ප්‍රචාරය වන පිරිතේ අමුතු මිහිරක් නැති නමුත් පිරිත අවසන් වනතුරුම මම ද නිහඬව රාහුල හිමියන් සමග හිඳගෙන සිටින්නට පුරුදු වීමි. මෙය වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලයි.

මෙසේ පිරිත ප්‍රචාරය වන අතර එක දිනක් සිදුවුණු සිදුවීමක් රාහුල හාමුදුරුවෝ මේ පිරිත් ප්‍රචාරය ගැන සිතන ආකාරය හෙළිදරව් කළේය. මොකක්දෝ කාර්මික දෝෂයක් නිසා දවසක් ‘ශ්රෝස්.. බ්රෝස්..’ හඬ නගා හදිසියේම පිරිත නැවතිණි. මුළු පරිසරය එකවරම නැවත නිහඬ විය. එතෙක් දෑස් පියාගෙන හාන්සි පුටුවේ ඇළවී සිටි රාහුල හාමුදුරුවෝ වහා කෙලින් වී හිඳ ගතතේය. “අන්න අරක යන්තං නතර වුණා..” පියකරු සිනාවකින් පිරිණු මුහුණින් යුතුව රාහල හාමුදුරුවෝ ප්‍රකාශ කළේය.  

(මෙම ලිපිය 2018.01.26 සිකුරාදා 'රැස' පුවත් පතේ 13 පිටුවේ 'සති' විශේෂාංගය යටතේ පළවිය. http://epaper.resa.lk/?id=13&tday=2018/01/26)  
pen



0 comments:

Post a Comment