Friday, January 26

වල්පොළ රාහුල හාමුදුරුවන් සමග පිරිත් ඇසීමි

අද ලිපියෙන් මා උත්සාහ කරන්නේ වල්පොළ රහුල හාමුදුරුවන් සමග එකට ජීවත්වීමෙන් ලද අත්දැකීමක් ඔබ සමග බෙදාගන්නයි. එයට පෙර මා කැමතියි වල්පොළ රාහුල හාමුදුරුවන් කවුරුන්දැයි මදක් හඳුන්වා දෙන්න.

වල්පොළ රාහුල හාමුදුරුවො ඉපදෙන්නෙ 1907  අවුරුද්දෙ, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයෙ.  පුද්ගලික ගුරුවරුන් යටතේ ඉතා මහන්සියෙන් අධ්‍යාපනය ලබන රාහුල හාමුදුරුවෝ ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ පළමු භික්ෂුන් වහන්සේයි. ඒ 1931 දී. භික්ෂුවක් විශ්වවිද්‍යාලයට නොයායුතු යැයි විරෝධතා මතුවෙත් දී රාහුල හාමුදුරුවන්ගේ ගමනට සහය ලැබෙන්නේ සමාජයේ සුළු පිරිසකගෙන් පමණයි. ඒ අතරින් විශේෂයි සරවනමුත්තු තංගරාජා මහතා. විශ්වවිද්‍යාලයට ගාස්තු ගෙවිය යුතු එම සමයේ රාහුල හාමුදුරුවන්ගේ සියලු අධ්‍යාපන වියදම් දරන ලද්දේ තංගරාජා මහතා විසිනි. 

පසුගිය සියවසේ බිහි වූ විශිෂ්ටතම බෞද්ධ පඬිවරයෙකු වූ රාහුල හිමියන් ගොඩනගන්නට වැඩිම දායකත්වයක් දරා ඇත්තේ දෙමළ බස තම මව් භාෂාව කරගත් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයෙකු වීම ඉතිහාසයේ විශේෂයෙන් සඳහන් විය යුතු කරුණකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සම්පුර්ණ කළ රාහුල හිමියෝ ලක්දිව බුදුසමයේ ඉතිහාසය නමින් පසුව ප්‍රකාශයට පත් වුණු පර්යේෂණ කෘතිය ඉදිරිපත් කරමින් අචාර්ය උපාධිය ද ලබා ගත්තේය.

රාහුල හිමියන් ගේ විවිධ අත විහිදුණු විශාල කාර්ය භාරය අතර විශේෂයෙන් කැපී පෙනෙන අංශයක් වන්නේ බෞද්ධ සමාජයට විචාරශීලිත්වය හඳුන්වා දීමට ගන්නා ලද උත්සාහයයි. අද පොතක් ලෙස ලබා ගත හැකි ‘සත්‍යෝදය’ නම් කෘතිය තුළ අන්තර්ගත වන්නේ උන්වහන්සේ මේ ඉලක්කය සාධනය කරගැනීම සඳහා 1930 දශකයේ දී කරන ලද දේශනාවල එකතුවයි. බෞද්ධ නාමයෙන් කෙරෙන නිරර්ථක පුදපූජා, කුල ක්‍රමය සමාජයේ පවත්වා ගැනීමට බෞද්ධ භික්ෂු සංස්ථාවම දායක වීම, ලාභ ලැබීමේ අරමුණෙන් ආගම භාවිතා කිරීම ආදිය උන්වහන්සේ මෙම දේශනා හා පත්‍රිකා ඔස්සේ ප්‍රශ්න කළේය. උන්වහන්සේ එදා ගත් උත්සාහය සාර්ථක විණි නම් අද බෞද්ධ සමාජය ලංකාවේ වඩාත්ම දියුණු ලෙස සිතන ජන සමාජය වීමට ඉඩ තිබුණු අතර එය පොදුවේ ශ්‍රී ලාංකේය ජන සමාජය ඉදිරියට ගෙන යන ආලෝකය වීමට ද ඉඩ තිබුණි.

රාහුල හිමියෝ උන්වහන්සේ ගේ ජිවිතයේ අවසාන කාලයේ වැඩසිටියේ දියවන්නා ඔය අසල පිහිටි අද ‘වල්පොළ රාහුල ආයතනය’ ලෙස හැඳින්වෙන ආයතනයේයි. එවක මම විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍ය භික්ෂුවක් වීමි. රාහුල හිමියෝ සෑම දිනෙකම හවස පහට පමණ ආයතනය ඉදිරිපස පිහිටි කොරිඩෝවේ හාන්සිපුටුවක හිඳගන්නා අතර මම ඒ අසල වූ බැම්මෙහි හිඳගනිමි. එතැන් සිට රාත්‍රී 8 පමණ වනතුරු සිදුවන සාකච්ඡාව ඉතාම ප්‍රියජනක, හරවත් හා රසවත් සාකච්ඡාවක්ම විය. එසේ සාකච්ඡා වුණු කරුණු පදනම් කරගෙන ලිපි පෙළක්ම වුව ලිවිය හැකිය.

මෙසේ සිදුවන අපගේ සාකච්ඡාව අතරමග නවතන්නට වන සිදුවීමක් හැමදාම සිදුවෙයි. ඒ දියවන්නාවේ අනෙක් පස පිහිටි විහාරස්ථානයේ පිරිත් ප්‍රචාරය කෙරෙන අවස්ථාවයි. සෑම දිනකම සවස 6.00 සිට 6.30 දක්වා ශබ්දවාහිනී යන්ත්‍රයක් මගින් පිරිත් ප්‍රචාරය කිරීම ඇරඹෙන අතර ඒ සමගම කලින් කතා කරගත්තාක් මෙන් අප අතර සිදුවෙමින් පවතින සාකච්ඡාව ඉබේම නවතියි. නැවත අප අතර සාකච්ඡාව ඇරඹෙන්නේ පිරිත් අවසන් වුවාට පසුවය.

මම සිතා සිටියේ රාහුල හාමුදුරුවෝ පිරිත් ශ්‍රවනය කිරීම සඳහා නිහඬ වෙනවා කියාය. යකඩ කටින් මුළු පළාතටම ඇසෙන පරිදි මහා හඬින් ප්‍රචාරය වන පිරිතේ අමුතු මිහිරක් නැති නමුත් පිරිත අවසන් වනතුරුම මම ද නිහඬව රාහුල හිමියන් සමග හිඳගෙන සිටින්නට පුරුදු වීමි. මෙය වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලයි.

මෙසේ පිරිත ප්‍රචාරය වන අතර එක දිනක් සිදුවුණු සිදුවීමක් රාහුල හාමුදුරුවෝ මේ පිරිත් ප්‍රචාරය ගැන සිතන ආකාරය හෙළිදරව් කළේය. මොකක්දෝ කාර්මික දෝෂයක් නිසා දවසක් ‘ශ්රෝස්.. බ්රෝස්..’ හඬ නගා හදිසියේම පිරිත නැවතිණි. මුළු පරිසරය එකවරම නැවත නිහඬ විය. එතෙක් දෑස් පියාගෙන හාන්සි පුටුවේ ඇළවී සිටි රාහුල හාමුදුරුවෝ වහා කෙලින් වී හිඳ ගතතේය. “අන්න අරක යන්තං නතර වුණා..” පියකරු සිනාවකින් පිරිණු මුහුණින් යුතුව රාහල හාමුදුරුවෝ ප්‍රකාශ කළේය.  

(මෙම ලිපිය 2018.01.26 සිකුරාදා 'රැස' පුවත් පතේ 13 පිටුවේ 'සති' විශේෂාංගය යටතේ පළවිය. http://epaper.resa.lk/?id=13&tday=2018/01/26)  




Friday, January 19

අනුගාමිකයින්ගෙන් පණිවුඩය බේරා ගැනීම ලොකුම අභියෝගයයි!


ඒ 2016 සැප්තැම්බර් මාසයේ දිනයකි. මම පුස්තකාලයට වී පොතක් කියවමින් සිටියෙමි. මේ අතර එකවර හෙලිකොප්ටරයක හඬ ඇසෙන්නේට පටන්ගත්තේය. පාර්ලිමේන්තුවට කිසියම් අමුත්තෙකු එනවා ඇතැයි මා මුලින් සිතුවෙමි. එහෙත් හෙලිකොප්ටරයේ හඬ එන්න එන්නම වැඩිවන්නට විය. අවට පරිසරයේ හුන් ලේනුන්, කොරවක්කන් සහ කුරුල්ලන් හදිසි විපතක් සිදුවන්නට යන්නාක් මෙන් මහත් කලබලයට පත්ව කෑකෝගසන්නට විය. පුස්තකාලයේ මේසය උඩට වී එතෙක් නිදාගෙන සිටි බළලා ද කලබලයට පත්ව මේසයෙන් බිමට පැන පුස්තකාලයෙන් එලියට පැනගත හැකි මගක් සොයමින් ඒ මේ ඇත දුවන්නට විය. හෙලිකොප්ටරය ඉතා පහතින් අප පසුකර යන්නට ගියේය. ක්‍රමයෙන් නැවත පරිසරය සන්සුන්විය. බළලා ද මදක් සන්සුන්ව පසෙකින් හිඳ ගත්තේය. මම ද නැවත පොත කියවන්නට වීමි.



විනාඩි තුනක් පමණ ගතවන්නට ඇත. නැවත හෙලිකොප්ටරයේ අමිහිරි ඝෝෂාකාරී නාදය ඇසෙන්නට විය. මෙවර පෙරටත් වඩා පහතින් සහ ළගින් එය ගමන් කරන බව පෙනුණි. බළලාට එලියට පැනගන්න ඉඩ නොදී තවදුරටත් පුස්තකාලයේ ඉන්නට හැරියොත් පොත් සෑහෙන ප්‍රමාණයක් බිම දමන බව පෙනුණු බැවින් පුස්තකාලයේ දොර හැර ඌට පැන දුවන්නට ඉඩ දී මම ද පිටතට පැමිණියෙමි.

හෙලිකොප්ටරයක් ඉතා පහතින් අප පසුකොට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට උඩින් ජයන්තිපුරය දෙසට ධාවනය විය. එය ජනකලා කේන්ද්‍රය, මාදිවෙල ඔස්සේ බැද්දගාන වගුරුබිම්වලට ඉතා සමීපව ගමන් කරමින් නැවත නැවතත් අපගේ හිසට උඩින් ධාවනය කරන්නට විය. පාර්ලිමේන්තු පාර දිගේ පාර්ලිමේන්තුව දෙසට ගෙන යන මෘත දේහයකට ගුවනේ සිට මල් ඉසීම සඳහා මේ මහා කලබලය සිදු කරන බව අපට පෙනී ගියේය. ලංකාවේ ප්‍රමුඛතම වනගත භාවනා මධ්‍යස්ථානයක් වූ නා උයන අරණ්‍ය සේනසනයේ භාවනා අචාර්යයන් වහන්සේ වූ නා උයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහනය එදින සිදුවන බව මට මතක් වූයේ එවිටය.

නා උයනේ අරියධම්ම හිමියෝ මෑත ලංකාවේ ජිවත් වූ ප්‍රමුඛතම භාවනා අචාර්යයන් වහන්සේය. උන්වහන්සේ මුළු ජිවිත කාලයක් භාවනා යෝගීව ගල් ලෙන් ආශ්‍රිත වනසෙනසුන්වල ජිවත් වූ අතර දෙස් විදෙස් විශාල ජනපිරිසකට භාවනා කටයුතු සඳහා මග පෙන්වූ සේක. උන්වහන්සේ ගේ ස්වයං ලිඛිත චාරිතපාදනය කියවන විට තම අධ්‍යාත්මික අරමුණු වෙනුවෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලද කැපවීමේ ප්‍රමාණය වටහා ගත හැකිය. ඒ විස්තරයට අනුව උන්වහන්සේ භාවනා කිරීම අරඹන්නේ වයස 15 දී පමණය. පළමුවෙන්ම වැඩු භාවනාව වන්නේ මෛත්‍රී භාවනාවයි. ඒ පිලිබඳ උන්වහන්සේගේ චාරිතාපදනයේ එන සටහන මෙසේයි.

“ඔය කාලයේ අතුලවංස කියන ස්වාමින් වහන්සේ ලියපු මෛත්‍රී භාවනා පොතක් ලැබුණා. දස දිශාවට, සියලු සත්ව කොට්ඨාෂවලට මෛත්‍රී කරන හැටි එකේ විස්තර කරලා තිබුණා... වයස 15 වෙත් දී බද්ද පර්යංකයෙන් ඉන්න පුරුදු වුණ මම හැම රාත්‍රියකම ඇඳේ වාඩි වෙලා අර පොතේ තිබුණු විදියට දස දිශාවට, සියලු සත්ව කොට්ඨාෂවෙතට මෛත්‍රිය වඩනවා. විනාඩි 10-15 යනකොට මට දැනෙන්නේ අහසේ ඉන්නව වගේ. හොඳට නින්ද යනවා. පහුවදා හරිම ප්‍රීතිමත්ව ගත කරනවා.”

දියවන්නා වගුරුබිම් පෙදෙසේ වසන සියළු ජිවින්ටම මරබිය ඇති කරමින් මහත් පිඩාවක් ගෙනදෙමින් ද අර්ථ ශුන්‍ය විශාල ධන හානියක් කරමින් ද පෙර කී ‘ගුවනින් මල් හෙලීමේ මහා පූජාව’ සිදු කරන ලද්දේ මෙකී සරල, භාවනායෝගී ජිවිතයක් ගත කළ අරණ්‍යවාසි භික්ෂූන් වහන්සේට ගරු කිරීම සඳහාය.

මේ සිදුවීමෙන් මතුකෙරෙන පණිවුඩය පොදුවේ බොහෝ ආගමික ශාස්තෘන් වහන්සේලා සම්බන්ධයෙන් ද අදාල වේ. එනම් ශාස්තෘන් වහන්සේ ජිවිත කාලයක් මහන්සි වී සමාජගතකරන්නට හදන පණිවුඩය උන්වහන්සේගේ ආදාහනය සිදුවන්නටත් පෙරම බොහෝවිට උන්වහන්සේට ගරු කරන්නන් අතින්ම සම්පුර්ණයෙන්ම කණපිට පෙරලෙන බව ය. එසේ කරන්නේම ශාස්තෘවරයාට දක්වන ගෞරවයක ස්වරූපයෙනි.

බුදුන් වහන්සේ ට ගෞරව කිරීමට යයි පවසමින් අලි ඇතුන් දම්වැලින් බැඳ පෙරහැරවල් පවත්වමින් ද ලක්ෂ ගණනින් මල් කඩා එක එක තැන ගොඩකරමින් ද තවත් බොහෝ ආකාරවලින් ද කරන පුද පූජා අයත්වන්නේ නා උයනේ අරිධම්ම හිමියන්ට ගෞරව පිණිස ගුවනින් මල් හෙලීම වැනිම පින්කම් ගණයටය.

(මෙම ලිපිය 2018.01.19 සිකුරාදා 'රැස' පුවත් පතේ 14 පිටුවේ 'සති' විශේෂාංගය යටතේ පළවිය: http://epaper.resa.lk/?id=14&tday=2018/01/19)





Saturday, January 13

කාන්තාව පිළිබඳ සමාජ අදහස් ගොඩනැංවීම

කාන්තාවන්ට එරෙහි හිංසාවාදී අදහස්  සමාජ ගත වීම කෙරෙහි බෞද්ධ සංස්කෘතික භාවිතයන් බලපාන්නේ ද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මේ  සාකච්ඡාව මා ජීවිතයේ අත්දු‍ටු අත්දැකීම් කිහිපයක් ඔස්සේ අරඹන්නට උත්සාහ කරමි.
  
දිනක් මම බත්තරමුල්ලෙන් බසයට නැග බො‍රැල්ල වෙත යන්නට පිටත් වීමි. හැම අසුනක්ම පිරී පැවති නමුත් මා සිටි අසුනේ තව කෙනෙකුට හිඳ ගැනීමට ඉඩ තිබුණේය. ඇතුල්කෝට්ටේ බස් නැවතුමෙන් වැඩිහිටි කාන්තාවක් ඉදිරි පස දොරෙන් බසයට ගොඩ වුණාය. ආසනයක් නොලැබුණු බැවින් ඇය දිගටම හිටගෙන ගමන් කරන්නට විය. මා හිඳගෙන සිටි අසුනේ තව කෙනෙකුට හිඳගෙන යාමට ඉඩ තිබුණු බැවින් මම ඇයට එහි හිඳ ගැනීමට ආරාධනා කළෙමි. ඇය වහා බසයේ පි‍ටුපසට ගියා මිස මා හිඳගෙන සිටි ආසනයේ හිඳගත්තේ නැත. පිටුපස ආසනයක සිටි වෙනත් පිරිමි අයෙකු මේ අවස්ථාවේ දී නැගිට ඇයට හිඳ ගැනීමට ආසනය පිරි නැමූ අතර ඇය එහි හිඳ ගත්තාය. පෙරකී පිරිමියා ඉන්පසුව ඉදිරියට පැමිණ මා සිටි අසුනෙහි හිඳගත්තේය.

මේ සිදුවීම මා තුළ මහත් කම්පනයක් ඇති කළේය. ඇය මගේ මවටත් වඩා වයෝවෘද්ධ කාන්තාවකි. මම අවිහිංසාව හා කරුණාව වෙනුවෙන් පෙනී සිටින භික්ෂුවක්මි. උපත මත කිසිවෙකු උසස් හෝ පහත් යැයි නොසලකන දහමක පණිවුඩ කරුවෙක්මි. මෙම වයෝවෘධ කාන්තාවට මා සමග එකට හිඳගන්න බැරි ඇයි? ඇය මා සිටි අසුනෙහි හිඳගෙන ගමන් කළා කියා සිදුවන වරද කුමක් ද? අනෙක් අතට පිරිමියෙකුට මා සමග බසයේ හිඳගෙන යාම හොඳ වෙත් දී කාන්තාවකට එසේ හිඳගෙන යාම අකැප වන්නේ කෙසේ ද? කාන්තාව පිරිමියාට වඩා පහත් ද? අපවිසින් පවත්වාගෙන යන මෙම සම්බන්ධතා ව්‍යූහය කාන්තාව දෙවැනි මට්ටමේ කෙනෙකුය යන අදහස සමාජගත කරන්නට උදව් වන්නේ නැත් ද?

මෙයටම අදාළ තවත් අත්දැකීමකට ලඟදී මුහුණදෙන්නට සිදුවිය. ඒ ප්‍රංශයේ සිට පැමිණි හිතවත් දෙදෙනෙකු ද සමග පාර්ලිමේන්තු පාරේ ඇවිදින්නට ගිය ගමනක දීය. අප දියත උයන දෙසට ඇවිදගෙන ගියෙමු. එසේ යනවිට භාවනා මධ්‍යස්ථානයකට හැරෙන හන්දිය වෙත අපි පිවිසියෙමු. අප අතර සිටි කාන්තාව භාවනා මධ්‍යස්ථානය බලන්නට කැමති බව ප්‍රකාශකර සිටියාය. එහෙයින් අපි භාවනා මධ්‍යස්ථානය දෙසට ගමන් ඇරඹීමු. මදක් ඉදිරියට යනවිට හමු වූ දැන්වීම් පුවරුවේ මෙසේ සඳහන්වී තිබුණේය.
කළු සහ වර්ණවත් විවිධ විලාසිතාවන්ගෙන් සැරසුණු කාන්තාවන් භාවනා ස්ථානයට පැමිණීමෙන් වළකින්න

මේ දැන්වීම් පුවරුවට අනුව විවිධ විලාසිතාවන්ගෙන් සැරසුණු පිරිමින්ට එහි ඇතුළුවීමට බාධාවක් නැත.  ප්‍රශ්නය වන්නේ කාන්තාවන් එසේ  ඇතුළු වුවහොත් පමණය. අනෙක් ගැටළුව වන්නේ විවිධ විලාසිතා යන්නෙන් අදහස්වන්නේ කුමක් දැයි පැහැදිලි නොවීමයි. යමක් විලාසිතාවක් හෝ විලාසිතාවක් නොවේ යැයි වර්ගකරන්නේ කෙසේ ද? ළමා සාරිය වුව විලාසිතාවක් ලෙස හැඳින්විය හැකිය.

අප සමග සිටි කාන්තාව ඇවිදීමට පහසුවන නිදහස් දිග කලිසමකින් සැරසී සිටියාය. එය කළු පැහැ එකක්විය. මෙම දැන්වීමට අනුව අප සමග සිටි කාන්තාවට භාවනා මධ්‍යස්ථානයට අතුළු විය නොහැකිය.
පිරිමින්ගේ ඇඳුම ගැන කිසි සඳහනක් නැති, කාන්තාවගේ ඇඳුම ගැන පමණක් තහංචි පනවා තිබූ එම ආයතනයට අතුළු නොවී අපි නැවත පැමිණියෙමු. 

මේවාට අමතරව කාන්තාව සම්බන්ධ සමාජ ආකල්ප සකසන ප්‍රධාන අවස්ථාවක් වන්නේ ධර්ම දේශනා අවස්ථායි. අම්මා බුදුන්ට සමාන කෙරෙන දේශනාව අතරම ගැහැණියගේ අඳුමේ සංවරය බොහෝ දේශනාවල ප්‍රමුඛ මාතෘකාවක් වෙයි. කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට වගකිව යුත්තේ කාන්තාවන්මය යන අදහස සමාජගත කරන මෙවැනි ඇතැම් දේශකයින් රටෙහි ඉතාම ජනප්‍රියය. තමන් දෙවෙනි පන්තියට හෙලමින්, උපහාසයට හා හිනාවට ලක්කරමින් කෙරෙන එවන් අයගේ දේශනා සිනාසෙමින් අසා සිටීමට තරම් අප සමාජයේ ඇතැම් කාන්තාවන් නොදැනුවත් වීම කණගාටු දායකය.

මේ සියල්ල දෙස බලන විට මතුවන පැනය වන්නේ කාන්තාව සම්බන්ධ මෙබඳු ආකල්ප සමාජගත කිරීමට බෞද්ධ ඉගැන්වීම් වලින් කිසියම් අනුබලයක් ලැබේ ද යන්නය. බුදුදහමේ එන අවිහිංසා මූලධර්මයේ පිහිටා කටයුතු කරන කිසිවෙකුට මෙසේ කාන්තාව පහත හෙලා කටයුතු කළ නොහැකිය.  එහෙයින් එය බෞද්ධ විරෝධීය. අනෙක් අතට ආගමික අදහසකින් තොරව බැලුව ද එය අතිශය අශිස්ටය.

‘ගැහැණිය අඳින ඇඳුමේ ස්වරූපය ඇයට එරෙහි හිංසනයේ මූලය’යි යන අදහස බුදු දහමට අනුව එකඟ ද?

‘සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ - නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ’ 
(බාහිර) ලෝකයේ කාමය අවුස්සන දේවල්ය කියා කිසිවක් නැත. කාමය ඇත්තේ එය දෙස බලන්නා තුළය.

මේ ඉගැන්වීමට අනුව හැකි හැම ආකාරයකින්ම බලපෑම් කරමින් කාන්තාව විශේෂකොට ඇඳුම් වලින් වසා තැබීමට යම් සමාජයක් උත්සාහ දරන්නේ නම් එය එම සමාජයේ බලවත් පිරිහීමක් පිළිබිඹු කරයි. එහෙයින් සිදුකළ යුත්තේ කාන්තාව තවතවත් විශේෂකොට වසා තැබීමට උත්සාහ දැරීම නොවේ. මේ සම්බන්ධ සාකච්ඡාව ගැඹුරු කරමින් අවබෝධය වැඩිකිරීමට කටයුතු කිරීමය. හැමට සමාන ගෞරව ලැබීමට ඇති අයිතිය පිළිගන්නා තත්ත්වයක් ඇති කිරීමට සාමුහිකව ප්‍රයත්න දැරීමය. මනුෂ්‍යත්වය තවතවත් මතුකරන අධ්‍යාපන ක්‍රියාවලියක් ගොඩනැගීමය.

(මෙම ලිපය සංස්කරණ සහිතව රැස පුවත්පතේ පළ විය: