Friday, January 19

අනුගාමිකයින්ගෙන් පණිවුඩය බේරා ගැනීම ලොකුම අභියෝගයයි!


ඒ 2016 සැප්තැම්බර් මාසයේ දිනයකි. මම පුස්තකාලයට වී පොතක් කියවමින් සිටියෙමි. මේ අතර එකවර හෙලිකොප්ටරයක හඬ ඇසෙන්නේට පටන්ගත්තේය. පාර්ලිමේන්තුවට කිසියම් අමුත්තෙකු එනවා ඇතැයි මා මුලින් සිතුවෙමි. එහෙත් හෙලිකොප්ටරයේ හඬ එන්න එන්නම වැඩිවන්නට විය. අවට පරිසරයේ හුන් ලේනුන්, කොරවක්කන් සහ කුරුල්ලන් හදිසි විපතක් සිදුවන්නට යන්නාක් මෙන් මහත් කලබලයට පත්ව කෑකෝගසන්නට විය. පුස්තකාලයේ මේසය උඩට වී එතෙක් නිදාගෙන සිටි බළලා ද කලබලයට පත්ව මේසයෙන් බිමට පැන පුස්තකාලයෙන් එලියට පැනගත හැකි මගක් සොයමින් ඒ මේ ඇත දුවන්නට විය. හෙලිකොප්ටරය ඉතා පහතින් අප පසුකර යන්නට ගියේය. ක්‍රමයෙන් නැවත පරිසරය සන්සුන්විය. බළලා ද මදක් සන්සුන්ව පසෙකින් හිඳ ගත්තේය. මම ද නැවත පොත කියවන්නට වීමි.



විනාඩි තුනක් පමණ ගතවන්නට ඇත. නැවත හෙලිකොප්ටරයේ අමිහිරි ඝෝෂාකාරී නාදය ඇසෙන්නට විය. මෙවර පෙරටත් වඩා පහතින් සහ ළගින් එය ගමන් කරන බව පෙනුණි. බළලාට එලියට පැනගන්න ඉඩ නොදී තවදුරටත් පුස්තකාලයේ ඉන්නට හැරියොත් පොත් සෑහෙන ප්‍රමාණයක් බිම දමන බව පෙනුණු බැවින් පුස්තකාලයේ දොර හැර ඌට පැන දුවන්නට ඉඩ දී මම ද පිටතට පැමිණියෙමි.

හෙලිකොප්ටරයක් ඉතා පහතින් අප පසුකොට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට උඩින් ජයන්තිපුරය දෙසට ධාවනය විය. එය ජනකලා කේන්ද්‍රය, මාදිවෙල ඔස්සේ බැද්දගාන වගුරුබිම්වලට ඉතා සමීපව ගමන් කරමින් නැවත නැවතත් අපගේ හිසට උඩින් ධාවනය කරන්නට විය. පාර්ලිමේන්තු පාර දිගේ පාර්ලිමේන්තුව දෙසට ගෙන යන මෘත දේහයකට ගුවනේ සිට මල් ඉසීම සඳහා මේ මහා කලබලය සිදු කරන බව අපට පෙනී ගියේය. ලංකාවේ ප්‍රමුඛතම වනගත භාවනා මධ්‍යස්ථානයක් වූ නා උයන අරණ්‍ය සේනසනයේ භාවනා අචාර්යයන් වහන්සේ වූ නා උයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහනය එදින සිදුවන බව මට මතක් වූයේ එවිටය.

නා උයනේ අරියධම්ම හිමියෝ මෑත ලංකාවේ ජිවත් වූ ප්‍රමුඛතම භාවනා අචාර්යයන් වහන්සේය. උන්වහන්සේ මුළු ජිවිත කාලයක් භාවනා යෝගීව ගල් ලෙන් ආශ්‍රිත වනසෙනසුන්වල ජිවත් වූ අතර දෙස් විදෙස් විශාල ජනපිරිසකට භාවනා කටයුතු සඳහා මග පෙන්වූ සේක. උන්වහන්සේ ගේ ස්වයං ලිඛිත චාරිතපාදනය කියවන විට තම අධ්‍යාත්මික අරමුණු වෙනුවෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලද කැපවීමේ ප්‍රමාණය වටහා ගත හැකිය. ඒ විස්තරයට අනුව උන්වහන්සේ භාවනා කිරීම අරඹන්නේ වයස 15 දී පමණය. පළමුවෙන්ම වැඩු භාවනාව වන්නේ මෛත්‍රී භාවනාවයි. ඒ පිලිබඳ උන්වහන්සේගේ චාරිතාපදනයේ එන සටහන මෙසේයි.

“ඔය කාලයේ අතුලවංස කියන ස්වාමින් වහන්සේ ලියපු මෛත්‍රී භාවනා පොතක් ලැබුණා. දස දිශාවට, සියලු සත්ව කොට්ඨාෂවලට මෛත්‍රී කරන හැටි එකේ විස්තර කරලා තිබුණා... වයස 15 වෙත් දී බද්ද පර්යංකයෙන් ඉන්න පුරුදු වුණ මම හැම රාත්‍රියකම ඇඳේ වාඩි වෙලා අර පොතේ තිබුණු විදියට දස දිශාවට, සියලු සත්ව කොට්ඨාෂවෙතට මෛත්‍රිය වඩනවා. විනාඩි 10-15 යනකොට මට දැනෙන්නේ අහසේ ඉන්නව වගේ. හොඳට නින්ද යනවා. පහුවදා හරිම ප්‍රීතිමත්ව ගත කරනවා.”

දියවන්නා වගුරුබිම් පෙදෙසේ වසන සියළු ජිවින්ටම මරබිය ඇති කරමින් මහත් පිඩාවක් ගෙනදෙමින් ද අර්ථ ශුන්‍ය විශාල ධන හානියක් කරමින් ද පෙර කී ‘ගුවනින් මල් හෙලීමේ මහා පූජාව’ සිදු කරන ලද්දේ මෙකී සරල, භාවනායෝගී ජිවිතයක් ගත කළ අරණ්‍යවාසි භික්ෂූන් වහන්සේට ගරු කිරීම සඳහාය.

මේ සිදුවීමෙන් මතුකෙරෙන පණිවුඩය පොදුවේ බොහෝ ආගමික ශාස්තෘන් වහන්සේලා සම්බන්ධයෙන් ද අදාල වේ. එනම් ශාස්තෘන් වහන්සේ ජිවිත කාලයක් මහන්සි වී සමාජගතකරන්නට හදන පණිවුඩය උන්වහන්සේගේ ආදාහනය සිදුවන්නටත් පෙරම බොහෝවිට උන්වහන්සේට ගරු කරන්නන් අතින්ම සම්පුර්ණයෙන්ම කණපිට පෙරලෙන බව ය. එසේ කරන්නේම ශාස්තෘවරයාට දක්වන ගෞරවයක ස්වරූපයෙනි.

බුදුන් වහන්සේ ට ගෞරව කිරීමට යයි පවසමින් අලි ඇතුන් දම්වැලින් බැඳ පෙරහැරවල් පවත්වමින් ද ලක්ෂ ගණනින් මල් කඩා එක එක තැන ගොඩකරමින් ද තවත් බොහෝ ආකාරවලින් ද කරන පුද පූජා අයත්වන්නේ නා උයනේ අරිධම්ම හිමියන්ට ගෞරව පිණිස ගුවනින් මල් හෙලීම වැනිම පින්කම් ගණයටය.

(මෙම ලිපිය 2018.01.19 සිකුරාදා 'රැස' පුවත් පතේ 14 පිටුවේ 'සති' විශේෂාංගය යටතේ පළවිය: http://epaper.resa.lk/?id=14&tday=2018/01/19)

pen



0 comments:

Post a Comment