කාන්තාවන්ට එරෙහි හිංසාවාදී අදහස් සමාජ ගත වීම කෙරෙහි බෞද්ධ සංස්කෘතික භාවිතයන්
බලපාන්නේ ද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මේ සාකච්ඡාව මා ජීවිතයේ අත්දුටු අත්දැකීම් කිහිපයක්
ඔස්සේ අරඹන්නට උත්සාහ කරමි.
දිනක් මම බත්තරමුල්ලෙන් බසයට නැග බොරැල්ල
වෙත යන්නට පිටත් වීමි. හැම අසුනක්ම පිරී පැවති නමුත් මා සිටි අසුනේ තව කෙනෙකුට හිඳ
ගැනීමට ඉඩ තිබුණේය. ඇතුල්කෝට්ටේ බස් නැවතුමෙන් වැඩිහිටි කාන්තාවක් ඉදිරි පස දොරෙන් බසයට ගොඩ
වුණාය. ආසනයක් නොලැබුණු බැවින් ඇය දිගටම හිටගෙන ගමන් කරන්නට විය. මා හිඳගෙන සිටි
අසුනේ තව කෙනෙකුට හිඳගෙන යාමට ඉඩ තිබුණු බැවින් මම ඇයට එහි හිඳ ගැනීමට ආරාධනා
කළෙමි. ඇය වහා බසයේ පිටුපසට ගියා මිස මා හිඳගෙන සිටි ආසනයේ හිඳගත්තේ නැත. පිටුපස
ආසනයක සිටි වෙනත් පිරිමි අයෙකු මේ අවස්ථාවේ දී නැගිට ඇයට හිඳ ගැනීමට ආසනය පිරි
නැමූ අතර ඇය එහි හිඳ ගත්තාය. පෙරකී පිරිමියා ඉන්පසුව ඉදිරියට පැමිණ මා සිටි
අසුනෙහි හිඳගත්තේය.
මේ සිදුවීම මා තුළ මහත් කම්පනයක් ඇති
කළේය. ඇය මගේ මවටත් වඩා වයෝවෘද්ධ කාන්තාවකි. මම අවිහිංසාව හා කරුණාව වෙනුවෙන් පෙනී
සිටින භික්ෂුවක්මි. උපත මත කිසිවෙකු උසස් හෝ පහත් යැයි නොසලකන දහමක පණිවුඩ කරුවෙක්මි.
මෙම වයෝවෘධ කාන්තාවට මා සමග එකට හිඳගන්න බැරි ඇයි? ඇය මා සිටි අසුනෙහි හිඳගෙන ගමන්
කළා කියා සිදුවන වරද කුමක් ද? අනෙක් අතට පිරිමියෙකුට මා සමග බසයේ
හිඳගෙන යාම හොඳ වෙත් දී කාන්තාවකට එසේ හිඳගෙන යාම අකැප වන්නේ කෙසේ ද?
කාන්තාව
පිරිමියාට වඩා පහත් ද? අපවිසින් පවත්වාගෙන යන මෙම සම්බන්ධතා
ව්‍යූහය කාන්තාව දෙවැනි මට්ටමේ කෙනෙකුය යන අදහස සමාජගත කරන්නට උදව් වන්නේ නැත් ද?
මෙයටම අදාළ තවත් අත්දැකීමකට ලඟදී
මුහුණදෙන්නට සිදුවිය. ඒ ප්‍රංශයේ සිට පැමිණි හිතවත් දෙදෙනෙකු ද සමග පාර්ලිමේන්තු
පාරේ ඇවිදින්නට ගිය ගමනක දීය. අප දියත උයන දෙසට ඇවිදගෙන ගියෙමු. එසේ යනවිට භාවනා
මධ්‍යස්ථානයකට හැරෙන හන්දිය වෙත අපි පිවිසියෙමු. අප අතර සිටි කාන්තාව භාවනා මධ්‍යස්ථානය
බලන්නට කැමති බව ප්‍රකාශකර සිටියාය. එහෙයින් අපි භාවනා මධ්‍යස්ථානය දෙසට ගමන්
ඇරඹීමු. මදක් ඉදිරියට යනවිට හමු වූ දැන්වීම් පුවරුවේ මෙසේ සඳහන්වී තිබුණේය.
“කළු සහ වර්ණවත් විවිධ විලාසිතාවන්ගෙන්
සැරසුණු කාන්තාවන් භාවනා ස්ථානයට පැමිණීමෙන් වළකින්න”
මේ දැන්වීම් පුවරුවට අනුව විවිධ විලාසිතාවන්ගෙන් සැරසුණු පිරිමින්ට එහි ඇතුළුවීමට බාධාවක් නැත. ප්‍රශ්නය වන්නේ කාන්තාවන් එසේ ඇතුළු වුවහොත් පමණය. අනෙක් ගැටළුව වන්නේ විවිධ විලාසිතා යන්නෙන් අදහස්වන්නේ කුමක් දැයි පැහැදිලි නොවීමයි. යමක් විලාසිතාවක් හෝ විලාසිතාවක් නොවේ යැයි වර්ගකරන්නේ කෙසේ ද? ළමා සාරිය වුව විලාසිතාවක් ලෙස හැඳින්විය හැකිය.
අප සමග සිටි කාන්තාව ඇවිදීමට පහසුවන
නිදහස් දිග කලිසමකින් සැරසී සිටියාය. එය කළු පැහැ එකක්විය. මෙම දැන්වීමට අනුව අප
සමග සිටි කාන්තාවට භාවනා මධ්‍යස්ථානයට අතුළු විය නොහැකිය.
පිරිමින්ගේ ඇඳුම ගැන කිසි සඳහනක් නැති, කාන්තාවගේ ඇඳුම ගැන පමණක් තහංචි පනවා
තිබූ එම ආයතනයට අතුළු නොවී අපි නැවත පැමිණියෙමු.
මේවාට අමතරව කාන්තාව සම්බන්ධ සමාජ ආකල්ප සකසන ප්‍රධාන අවස්ථාවක් වන්නේ ධර්ම දේශනා අවස්ථායි. අම්මා බුදුන්ට සමාන කෙරෙන දේශනාව අතරම ගැහැණියගේ අඳුමේ සංවරය බොහෝ දේශනාවල ප්‍රමුඛ මාතෘකාවක් වෙයි. කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට වගකිව යුත්තේ කාන්තාවන්මය යන අදහස සමාජගත කරන මෙවැනි ඇතැම් දේශකයින් රටෙහි ඉතාම ජනප්‍රියය. තමන් දෙවෙනි පන්තියට හෙලමින්, උපහාසයට හා හිනාවට ලක්කරමින් කෙරෙන එවන් අයගේ දේශනා සිනාසෙමින් අසා සිටීමට තරම් අප සමාජයේ ඇතැම් කාන්තාවන් නොදැනුවත් වීම කණගාටු දායකය.
මේ සියල්ල දෙස බලන විට මතුවන පැනය වන්නේ කාන්තාව සම්බන්ධ මෙබඳු ආකල්ප සමාජගත කිරීමට බෞද්ධ ඉගැන්වීම් වලින් කිසියම් අනුබලයක් ලැබේ ද යන්නය. බුදුදහමේ එන අවිහිංසා මූලධර්මයේ පිහිටා කටයුතු කරන කිසිවෙකුට මෙසේ කාන්තාව පහත හෙලා කටයුතු කළ නොහැකිය. එහෙයින් එය බෞද්ධ විරෝධීය. අනෙක් අතට ආගමික අදහසකින් තොරව බැලුව ද එය අතිශය අශිස්ටය.
‘ගැහැණිය අඳින ඇඳුමේ ස්වරූපය ඇයට එරෙහි හිංසනයේ මූලය’යි යන අදහස බුදු දහමට අනුව එකඟ ද?
‘සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ - නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ’
(බාහිර) ලෝකයේ කාමය අවුස්සන දේවල්ය කියා කිසිවක් නැත. කාමය ඇත්තේ එය දෙස බලන්නා තුළය.
මේ ඉගැන්වීමට අනුව හැකි හැම ආකාරයකින්ම
බලපෑම් කරමින් කාන්තාව විශේෂකොට ඇඳුම් වලින් වසා තැබීමට යම් සමාජයක් උත්සාහ දරන්නේ
නම් එය එම සමාජයේ බලවත් පිරිහීමක් පිළිබිඹු කරයි. එහෙයින්
සිදුකළ යුත්තේ කාන්තාව තවතවත් විශේෂකොට වසා තැබීමට උත්සාහ දැරීම නොවේ. මේ සම්බන්ධ
සාකච්ඡාව ගැඹුරු කරමින් අවබෝධය වැඩිකිරීමට කටයුතු කිරීමය. හැමට සමාන ගෞරව ලැබීමට
ඇති අයිතිය පිළිගන්නා තත්ත්වයක් ඇති කිරීමට සාමුහිකව ප්‍රයත්න දැරීමය. මනුෂ්‍යත්වය
තවතවත් මතුකරන අධ්‍යාපන ක්‍රියාවලියක් ගොඩනැගීමය.
(මෙම ලිපය සංස්කරණ සහිතව රැස පුවත්පතේ පළ විය:
(මෙම ලිපය සංස්කරණ සහිතව රැස පුවත්පතේ පළ විය:
0 comments:
Post a Comment