Sunday, August 27

The Brain; The Story of You: උපදින්නේ අසම්පූර්ණවයි! 1.1 සිට 1.3 දක්වා

ඩේවිඩ් ඊගල්මන් නම් ස්නායු විශේෂඥයා විසින් රචිත The Brain; The Story of You නම් කෘතියේ දළ පරිවර්තනයකි මෙම ලිපි පෙළ යටතේ පළවන්නේ.  මොලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රාමාණික උගතුන් විසින් පර්යේෂණ පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති නව දැනුමට විවෘත වීම, අප සියලු දෙනා මුහුණ දෙන මානසික ප්‍රශ්න තේරුම් ගැනීමට අත්වැලක් සපයා ගැනීම හා ඒවායෙන් සුවපත් වීමට මග හෙලි කිරීම මෙම ප්‍රයත්නයේ අරමුණයි.


පරිච්ඡේදය 01: මම කව්ද?
1.1 උපදින්නේ අසම්පූර්ණවයි (Born Unfinished)
උපතේ දී මිනිසා හරිම අසරණයි. අවුරුද්දක් විතර ඇවිදගන්න බැරිව ඉන්න වෙනවා. අදහසක් ප්‍රකාශ කරගන්න තවත් අවුරුදු දෙකක් විතර ඉන්න වෙනවා. තව බොහෝ අවුරුදු ගණනක් ඉන්න ඕන තනිවම යමක් කරගන්න. ඒ නිසා අන් අය මතයි සම්පූර්ණයෙන්ම යැපෙන්න වෙන්නෙ.

මේ තත්ත්වෙ අනිත් ක්ෂීරපායි සතුන්ගෙන් වෙනස්. ඩෝල්පීන්ට ඉපැදුණු ගමන් පිහිනන්න පුළුවන්. පැය කීපයකින් ජිරාෆ් ඇවිදිනවා. මිනිත්තු 45 ක දී සීබ්‍රා පැටියෙකුට දුවන්න පුළුවන්. සත්ව ලෝකයේ අන් හැම සතෙකුම වගේ ඉපැදී කෙටි වෙලාවක දී ම ස්වාධීන වෙනවා. 

බැලූ බැල්මට සතුන්ගේ මේ හැකියාව ඔවුන්ට ලොකු වාසිදායක දෙයක් වගේ පෙනුනත් ඒ වාසිදායක තත්ත්වය පෙන්වන්නේම ඒ සතුන්ට තිබෙන ලොකු සීමාවක්. 

සත්ව පැටවුන්ට මේ හැකියාව ලැබෙන්නෙ ඔවුන්ගේ මොලයේ පරිපත සැකසෙන්නේ කලින්ම තීරණය වූ මාර්ග ඔස්සේ වන බැවින් (their brains are wiring up according to a largely preprogrammed routine). ඒ නිසා සත්ව පැටවුන් තුළ පරිසරයට අනුව වෙනස් වෙනස් ආකාර පරිපත මොලයේ සැකසෙන්නෙ නෑ. 

මෙසේ කලින්ම තීරණය වූ ක්‍රමයකට මොලයේ පරිපත සැකසෙන බැවින් නව තත්ත්වයනට අනුගත වෙමින් පසුව පරිපත වෙනස් කරගැනීමට ඔවුන්ට නොහැකියි. මේ නිසා රයිනෝසරයෙකු ආර්ක්ටික් තුන්ද්‍රා ප්‍රදේශයක, හිමාලයේ කඳු මුදුනක හෝ ජපානයේ ටෝකියෝව වැනි තැනක තැබුව හොත් ඌට එම පරිසරයට අනුගත වීමට නොහැකියි. 

නමුත් මිනිසාට එකිනෙකෙන් වෙනස් ඕනෑම පරිසරයකට පහසුවෙන් අනුගත විය හැකිය. එසේ හැකිවන්නේ මිනිසා ඉපැදෙන්නේම සම්පූර්ණත්වයට පත් නොවුණු මොලයක් ඇතිව වන බැවිනි; කලින්ම සැකසුනු සැලැස්මකට අනුව මිනිසාගේ මොලයේ පරිපත සැකසෙන්නේ නැති බැවිනි. එනිසා මිනිසාගේ මොලයට ජීවිත අත්දැකීම් අනුව නැවත නැවත සකස්විය හැකිය.

පෙර කී පරිදි, මානව දරුවාට ස්වාධීන වීමට දිගු කලක් ගතවන්නේ උපතේ දී ළාමක තත්ත්වයක පවත්නා මොලය පරිසරයේ තත්ත්වයන් හඳුණාගනිමින්, ඒවාට අනුව, පරිපත සකසා ගැනීමට දිගු කලක් ගතවන බැවිනි.

1.2 ළමා වියේ සිදුවන 'කප්පාදුව': කිරිගරුඬ පර්වතයකින් ප්‍රථිමාව මතුකර ගැනීම
මානවයාගේ ළදරු මොලයේ දක්නට ලැබෙන 'නම්‍යතාවය' (පහසුවෙන් හැඩගැසිය හැකි තත්ත්වය) පි‍ටුපස ඇති රහස මොකක් ද? ඒ අලුතින් වර්ධනය වන මොලයේ සෛල සංඛ්‍යාව නම් නොවෙයි. ඇත්තම කියනවා නම් ළමා මොලයේත් වැඩිහිටි මොලයේත් සෛල ප්‍රමාණය සංඛ්‍යාවෙන් එකමය. එහෙනම් රහස මොකක් ද? රහස ඇත්තේ සෛල සංඛ්‍යාවේ නොව සෛල අතර සම්බන්ධතා (Synapses) ඇතිවන ආකාරයේ ය. 

උපතේ දී ළදරු ස්නායු පවතින්නේ එකිනෙක හා සම්බන්ධ වීමකින් තොරවය. නමුත් උපතේ සිට ගතවන පළමු අවුරුදු දෙකේ දී, ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රියයන් ඔස්සේ තොරතුරු ලබා ගැනීමත් එක්ක මේවා මහා වේගයකින් එකිනෙක හා සම්බන්ධ වීම ආරම්භ වේ. කොතරම් වේගයකින් එම සම්බන්ධතා සැකසේ ද යත් සෑම තත්පරකයකටම මෙබඳු සම්බන්ධතා මිලියන දෙකක් පමණ ළදරුවෙකුගේ මොලයේ සැකසෙයි. වසර දෙක සම්පූර්ණ වන විට දරුවෙකුගේ මොලයේ මෙබඳු සම්බන්ධතා (Synapses) ට්‍රිලියන සියයක් පමණ සැකසී අවසන්ය. එය සංඛ්‍යාවෙන් වැඩිහිටියෙකුගේ මොලයේ සෛල අතර සම්බන්ධතා සංඛ්‍යාව මෙන් දෙගුණයකි. වසර දෙක වනවිට සෛල අතර සම්බන්ධතා සංඛ්‍යාවේ උපරිමයට ළඟා වී හමාරය. අවශ්‍ය සංඛ්‍යාවටත් වඩා දැන් සම්බන්ධතා සැකසී ඇත.

මෙතන් සිට වෙනත් ක්‍රියාවලියක් ආරම්භ වේ. එනම් මේ ඇතිවුණු සම්බන්ධතා 'කප්පාදු වීමක්' ආරම්භ වීමයි. එම ක්‍රියාවලිය නිසා දරුවා වයස දෙකේ දී තිබුණු මොලයේ සෛල අතර සම්බන්ධතා සංඛ්‍යාව වැඩිහිටියෙකු වන විට සියයට පනහකින්ම කප්පාදු වී ඉවත් වී යයි.

මේ කපාදුව සිදුවන්නේ කෙසේ ද? මෙතෙක් සැකසී තිබුණු ස්නායු සම්බන්ධතා වලින් වැඩිපුර හා නිතර භාවිතයට ගැනෙන සම්බන්ධතා ශක්තිමත් වේ. එහෙත් භාවිතයට නොගන්නා සම්බන්ධතා ක්‍රමයෙන් දුර්වල වී කප්පාදු වී යයි. හරියටම එය කැලෑබද පෙදෙසක ඇති එකෙනෙකට සම්බන්ධ අඩි පාරවල් ගොඩක් වැනි ය. ඔබ කලක් භාවිතා නොකර අත්හැර දැමූ අඩි පාරවල් ක්‍රමයෙන් හඳුනාගත නොහැකි සේ කැලයෙන් වැසී යන්නාක් මෙනි. ඒ අනුව කෙනෙකු කවුරුන් ද යන්න තීරණය කෙරෙන්නේ ඔහු/ඇය ගොඩනගා ගත් මොලයේ සෛල සම්බන්ධතා ප්‍රමානය මත නොවේ. එසේ ගොඩනගා ගත් සම්බන්ධතාවලින් කප්පාදු කොට ඉවත් කරන ලද සියයට පනහ කුමක් ද යන්න මතය.

අපේ ළමාවියේ පරිසරයට අදාළ හැකියාවන් ඉතිරි කරමින් සහ භාවිතයට නොගන්නා හැකියාවන් ඉවත් කරමින්, අපගේ මොලය සැකසෙනු ලැබෙයි. උදාහරණයකට ඔබ ළදරු වියේ දී අහන්නට ලැබෙන භාෂාවේ ශබ්ද හඳුණාගැනීමට ඔබ හොඳින් හුරුවන අතර වෙනත් භාෂාවක ඇති ශබ්ද ඇසීමට ඇති හැකියාව ක්‍රමයෙන් දුර්වල වී යයි.

උදාහරණයකට ජපානයේ සහ ඇමෙරිකාවේ උපන් දරුවන් දෙදෙනෙකු ආරම්භයේ දී එම භාෂා දෙකේම ශබ්ද එකම ආකරයට හඳුණාගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට සමත් ය. නමුත් කාලයත් සමග ජපානයේ වැඩෙන දරුවා ජපන් භාෂාවේ වෙන්ව හඳුණාගත නොහැකි R සහ L ශබ්ද දෙකෙහි වෙනස හඳුණා ගැනීමට අසමත් වේ. 

ඒ අනුව නිගමනය කළ හැක්කේ අප කවුරුන්ද යන්න හැඩගස්වනු ලබන්නේ අපට වැඩෙන්නට සිදුවන වටපිටාව විසින් බව ය (We are sculptured by the world we happen to drop into).

1.3 ස්වභාවධර්මයේ සූදුව
අන් සතුනට සාපෙක්ෂව අපේ දිගු ළමා කාලය තුළ පරිසරයේ තත්ත්වයනට ඔබින ලෙස මොලය සකස් වන්නේ එහි ස්නායු සම්බන්ධතා අඛණ්ඩව කප්පාදු කරගැනීමෙනි. මෙය පරිසරයට ගැලපීම සඳහා ගොඩනැගී ඇති විශිෂ්ට ක්‍රමයක් වුවත්, එහි අණතුරුදායක බවක් ද පවතී. එනම්, මොලය වැඩෙන අවධියේ දරුවාට රැකවරණය හා සෙනෙහස හොඳින් ලැබෙන වටපිටාවක් නොලැබුණහොත් මොලයේ සාමාන්‍ය වර්ධනයට එයින් විශාල බලපෑමක් සිදුවන බැවිනි. 

මෙයට උදාහරණ ලෙස දිය හැකි සිදුවීමක් විස්කොන්සින්වලින් වාර්තා වේ. විස්කොන්සින් හි ජීවත් වූ කැරොල් සහ බිල් දරුවන් තිදෙනෙකුව හදාවඩාගැනීමට ගත් අතර එවිට එම දරුවන් වයස 4 පසු විය. එම දරුවන් ඔවුන් ලබා ගත්තේ රුමේනියාවේ රජය විසින් පවත්වාගෙන ගිය ඉතාම නරක තත්ත්වයක පැවති ළමා නිවාසයකිනි. එම පරිසරයේ බලපෑම නිසා මේ දරුවන් තුන් දෙනාගේ ම මොලයේ වර්ධනයට විශාල බලපෑමක් සිදු ව තුබුණු අතර වැඩෙන විට මොවුන් තිදෙනා ම ඉගෙනීමේ දුබලතා පෙන්නුම් කරන්නට වූහ.

රුමේනියාවේ පිහිටි මෙම ළමා නිවාසයට ගිය බොස්ටන් ළමා රෝහලේ මහාචාර්ය චාර්ල්ස් නෙල්සන් ඉදිරිපත් කරන විස්තරය අනුව එහි දරුවන් තොටිලි වල දමා තිබුණු අතර කිසිම සංවේදන (කතා කිරීම, සුරතල් කිරීම වැනි) උත්තේජනය කිරීමක් (sensory stimulation) එහි නොවීය. දරුවන් බලා ගැනීමට සිටියේ 15 දෙනෙකුට එක් අයෙකු බැගින් වූ සේවක පිරිසකි. ඔවුන්ට දරුවන් වඩාගැනීම තහනම් වූ අතර හඬන විට දී වත් ආදරය පෙන්වීම තහනම් විය. හේතුව දරුවන්ට ආදරය පෙන් වුවහොත් ඔවුන් එයට හුරු වීම නිසා වැඩි වැඩියෙන් ආදරය බලාපොරොත්තු වීම වැළැක්වීම ය. එතරම් දරු පිරිසකට ආදරය දැක්වීමට තරම් සේවකයින් එහි නොවූ බැවිනි. මේ නිසා ළමා නිවාසයේ කටයුතු බොහෝ දුරට හමුදා කඳවුරක වැනි විය. 

හඬන විට කිසිවෙකු අවධානය නොදක්වන බැවින් නොහඬා සිටීමට දරුවෝ ක්‍රමයෙන් පුරුදු වූහ. දරුවන් සමග කිසිවෙකු සෙල්ලම් කළේ නැත. ආහාර, ඇඳුම් සහ බෙහෙත් ආදිය අඩුවකින් තොරව ලබා දුන් නමුත් සෙනෙහස දැක්වීම සහ මොනම ආකාරයක හෝ උත්තේජනය කිරීමක් එහි නොවීය. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ දරුවෝ ඕනෑම කෙනෙකුට වෙනසකින් තොරව වහා හිතවත්කම් පෑමට හුරු වූහ. නෙල්සන් මොවුන් සිටි කාමරයකට ගිය විට පළමු වතාවට ඔහුව දු‍ටු මෙම දරුවෝ ඔහු වටකොට ගෙන ඇඟේ එල්ලෙන්නටත්, ඔඩොක්කුවේ හිඳගන්නටත් අත අල්ලාගෙන ඇවිදින්න යන්නටත් උත්සාහ කළෝය. මෙය සිත් ගන්නාසුළු ආකර්ෂණීය හැසිරීමක් ලෙස පෙනුනත්, මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නොසලකා හරින ලද දරුවන් ඒ අඩුව කළමනාකරණය කරගන්නා ආකාරයයි. (මෙය දිගු කාලීන සම්බන්ධතා අවුල් වීම් (attachment issues) සමග ඉතා කිට්‍ටුවෙන් සම්බන්ධය). මේ හැසිරීම ළමා නිවාස වැනි ආයතනවල විශේෂ අවධානයකින් තොරව වැඩෙන දරුවන්ට පොදු වූ තත්ත්වයකි. 

මේ අත්දැකීමෙන් කම්පනයට පත් නෙල්සන් මේ ගැන වැඩිදුර පර්යේෂණ කිරීම ආරම්භ කළේ ය. උපතේ සිට ළමා නිවාස වැනි ආයතනවල වැඩුණු මාස හයේ සිට අවුරුදු තුන දක්වා වූ දරුවන් 136 දෙනෙකු මේ පර්යේෂණයට යොදා ගන්නා ලදි. මෙහි දී මූලික වශයෙන් ඔහු හඳුනා ගත්තේ සාමාන්‍යයෙන් IQ මට්ටම 100 විය යුතු තත්ත්වයේ දී මේ දරුවන්ගෙ පැවතියේ 60-70 අතර බව ය. මේ දරුවන් ගේ මොලයේ වර්ධනයේ පසුබෑමක් පෙන්නුම් කළ අතර භාෂාව ඉගෙනීමට බොහෝ කල් ගන්නා බව මූලික වසයෙන් හඳුණා ගන්නා ලදි. Electroencephalography (EEG) තාක්ෂණය යොදාගෙන මේ දරුවන්ගේ මොලයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ විට හෙළිවූයේ ඒවායේ ස්නායු ක්‍රියාකාරීත්වය ඉතා පහල මට්ටමක තිබූ බවයි.

මෙයින් හෙළිවන්නේ භාවමය පෝෂණය (emotional care) හා ඥානය උත්තේජනය කිරීම් (cognitive stimulation) නොමැති පරිසරයක මිනිස් මොලයට සාමාන්‍ය ලෙස වර්ධනය වීමට නොහැකි බවයි. 

මෙහි තවත් පැත්තක් මෙම පර්යේෂණයෙන් හෙළිදරව් විය. එනම්, මෙම ළමයින් ආදරය කරුණාව හා ඥානය උත්තේජනය කිරීම් සහිත පරිසරයකට මාරු කළ විට ඔවුන්ගේ මොලය විවිධ මට්ටම්වලින් නැවත සුවපත්වන බවයි. අඩු වයසක දී ඔවුන් එසේ වෙනස් පරිසරයකට ගෙනගිය හොත් ඔවුන්ගේ සුවපත්වීම වඩා යහපත් බවයි. පොදුවේ අවුරුදු දෙකට අඩු වයසේ දී එසේ වෙනත් ස්ථානවලට ගෙනගිය දරුවෝ වඩා හොඳින් සුවපත් වූහ. නමුත් ඊට වඩා වැඩුණු දරුවන් විවිධ වර්ධන ගැටලු පෙන්නුම් කළේය. 

නෙල්සන්ගේ පර්යේෂණ ප්‍රතිඵල වලින් තහවුරු වන්නේ දරුවෙකුගේ වැඩෙන මොලයට ආදරය, කරුණාව, අවධානය සහ රැකබලා ගන්නා පරිසරයක් තිබීම කොතරම් වැදගත් ද, යන්නය. තව ද, අප අනාගතයේ කෙබඳු පුද්ගලයන් බවට පත්වන්නේ ද යන්න තීරණය වීමට අප වැඩෙන පරිසරය කොතරම් නම් වැදගත් ද යන්නය (who we are depends heavily on where we have been) . 


pen



0 comments:

Post a Comment